Home පුවත් දේශපාලන පුවත් බලයට එන්න කලින් මාලිමාවත් මහමොළකරුවෙක් ගැන කිව්වා. දැන් මහමොළකරු නැතිව, දොරවල් වහන්...

බලයට එන්න කලින් මාලිමාවත් මහමොළකරුවෙක් ගැන කිව්වා. දැන් මහමොළකරු නැතිව, දොරවල් වහන් දිනපතා පාස්කු නඩුව අහන්නේ – මුජිබර්

0
4

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවකු ඇති බව ජාතික ජන බලවේගයේ නායකයින් බලයට පැමිණීමට පෙර සඳහන් කළත් මේ වනවිට මහමොළකරුවකු අත් අඩංගුවට ගැනීමෙන් තොරව එම ප්‍රහාරය පිළිබඳ නඩුව දිනපතා විභාගයට ගැනීමට කටයුතු කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

එසේම නඩුව දිනපතා විභාගයට ගැනීමෙන් නීතීඥවරුන්ට ඊට සහභාගී වීමට නොහැකි වී ඇති බව පැවසූ ඒ මහතා නඩුව විභාග කෙරෙන්නේ ඇමති නිල නිවාසයක පිහිටවූ අධිකරණයක වන අතර එම ස්ථානයට පිවිසීමට මාධ්‍යවේදීන්ට ඉඩ ලබාදී නොමැති බවත් සඳහන් කළේය.

“මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉෂ්ට වෙන්න ඕනෙ කියලා අපි හැමදෙනාම බලාපොරොත්තු වෙනවා. මේක ඉතාම සංකීර්ණ නඩුවක් කියලාත් අපි ඔක්කොමලා දන්නවා. දැන් මේ චෝදනා 23269ක් ගොනුකරලා තියෙනවා මේ සැකකරුවන්ට විරුද්ධව. සාක්කිකරුවන් ඉන්නවා 2190ක්, විත්තිකරුවන් ඉන්නවා 24 දෙනෙක්. මේ නඩුව අහන්න දැන් පටන් අරගෙන තියෙනවා. දැන් අපි ඔක්කොමලා පිළිගන්නවා මහමොළකාරයෙක් ඉන්නවා කියලා. මෙතුමන්ලා විපක්ෂයේ ඉන්නකොටත් ඒක කිව්වා. එත් දැන් නඩුවේ තවම මහමොළකාරයා නෑ. මහමොළකාරයා නැතුව තමයි දැන් නඩුව අහන්න පටන් අරන් තියෙන්නෙ.

මේකට සාධාරණ නඩු විභාගයක් ලබාදීමේ වගකීම අධිකරණයටත් රජයටත් තියෙනවා. ව්‍යවස්ථාවෙන් රජය ඒකට බැඳිලා ඉන්නවා. වින්දිතයින්ට සාධාරණයක් වෙන්න ඕනෙ වගේම මේක පිටිපස්සේ හිටපු ඇත්ත මහමොළකරුවන්ටත් දඬුවම් ලැබෙන්න ඕනෙ. නමුත් දැන් අපිට හිතෙනවා සාධාරණ නඩු විභාගයක් වෙනවාද කියලා. ඇයි එහෙම කියන්නෙ ? දැන් මේ නඩුව හැමදවසෙම අහන්න පටන් අරන් තියෙනවා උදේ 9.30 ඉඳන් හවස 4 වෙනකල්. මේකෙ මහමොළකරුවන් නැතිව නඩුව අහන්න පටන් අරන් තිබෙනවා. පොලීසිය භාර ඇමතිතුමා කිව්වා මහමොළකරුවන් හඳුනාගත්තා කියලා. මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් රවී සෙනවිරත්න, අපේ ආණ්ඩුවේ හිටපු DIG මහත්තයා, එතුමා කිව්වා මහමොළකරුවා ගැන ලියලා දුන්නා කියලා කොමිසමට. කෝ එහෙනම් මහමොළකරු ? ඒ මහමොළකරු ඇයි අත් අඩංගුවට ගන්නෙ නැත්තේ ? මහමොළකරු නැතිව තමයි නඩුව යන්නේ. එහෙම නම් අපිට තියෙනවා සැකයක්. ඒ තමයි මේ මහමොළකරුවා අල්ලාගන්න බැරි හින්දා අප්‍රේල් 21 වෙනිදාට කලින් මේ නඩුව අවසාන කරන්න හදනවාද ? ඒ හින්දාද හැමදාම මේ නඩුව අහන්න යන්නෙ ? ඇයි මෙතන මේ හදිස්සි ?

අපි දන්නවා හැමදාම නඩු අහන එක ප්‍රායෝගික නැහැ. මොකද සාක්කිකාරයෝ 2190ක් ඉන්නවා. 23000ක් තියෙනවා චෝදනා. නීතීඥ මහත්තුරු දන්නවා හැමදාම මේක අහන එක ප්‍රායෝගික නැහැ කියලා. මොකද නීතීඥ මහත්තුරුන්ට වෙන වෙන නඩු තියෙනවා. ඒගොල්ලො අනිත් නඩුවලට යන්න ඕනෙ. ඒගොල්ලන්ගෙ පෞද්ගලික කටයුතු තියෙනවා, ඒ හින්දා හැමදාම ඒගොල්ලන්ට ඇවිල්ලා මේ නඩුවට පෙනී සිටින්න බැහැ. ඒ හින්දා ඒගොල්ලො කිව්වා උසාවියට සතියකට දවස් තුනක් මේක අහන්න කියලා. උසාවියෙ විනිශ්චයකරුවන් කිව්වා නෑ, අපිට ඒක දෙන්න බෑ, අපි හැමදාම නඩුව අහනවා කියලා. දැන් එතකොට ඒ නීතීඥ මහත්තුරු ඔක්කොම ඉල්ලා අස්වෙලා තියෙනවා නඩුවෙන්. කොහොමද මේ සංකීර්ණ නඩුව දිනපතා අහලා මේකට උත්තර බඳින්නෙ ? කාලයක් ඕනෙ වෙනවා. නීතීඥවරු දත්ත එකතු කරන්න ඕනෙ, කරුණු එකතු කරන්න ඕනෙ. හැමදාම නඩු ඇහුවාම ඒක කරන්න බෑ. ඒ හින්දා නීතීඥ මහත්තුරු අයින් වුණා. එතකොට සාධාරණ නඩු විභාගයක් සඳහා තමන් කැමති නීතීඥයකු ලබාගැනීමේ අයිතිය අහිමිවෙලා තිබෙනවා. මේක කාගෙහරි වුවමනාවකට මේ නඩුව ඉක්මනින් අහලා මහමොළකරු බේරාගැනීමේ ප්‍රොජෙක්ට් එකක්ද කියලා අපිට සැකයක් මතුවෙලා තියෙනවා.

යුක්තිය ඉෂ්ට කිරීම පමණක් නෙවෙයි, යුක්තිය ඉෂ්ට වෙනවා කියන එක පේන්න ඕනෙ. නමුත් අපි දන්නවා මේ නඩුව අහන්නෙ අලුත්කඩේ උසාවියෙ නෙවෙයි. මේ අහන්නෙ බුලර්ස් රෝඩ් එකේ ඇමති නිවාසයක. ඒකෙ දොරවල් වහලා, නෑදෑයින්ට යන්න නොදී, මාධ්‍යකරුවන්ට යන්න නොදී … එහෙම කොහොමද උසාවි ? එහෙම නඩු අහන්න පුළුවන්ද ? විවෘත අධිකරණයේදී තමයි නීතියේ සිද්ධාන්ත ආරක්ෂා වෙන්නෙ. වහගෙන කොහොමද ආරක්ෂා වෙන්නෙ ? පාස්කු බෝම්බ ප්‍රහාරයේ නඩුව අපි සියලුම දෙනාට වැදගත් වෙන නඩුවක්. මේ වගේ නඩුවක් කාමර වහගෙන අහන්න පුළුවන්ද ? හරි නම් මේ නඩුව රූපවාහිනියේ සජීවීව දෙන්න ඕනෙ. මොකද මේ රටේ ජනතාව දැනුවත් වෙන්න ඕනෙ මේ නඩුවේ කරුණු ගැන. මේක ඇයි හංගන්නෙ ?”

මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීති විවාදයට එක්වෙමිනි.