Home විදෙස් වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ තායිවානය ‘තීරණාත්මක’ ගිවිසුමකට...

වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ තායිවානය ‘තීරණාත්මක’ ගිවිසුමකට අත්සන් තබයි!

0
6

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමරිකා එක්සත් ජනපදය සහ තායිවානය අතර ඇති කරගත් ඓතිහාසික වෙළඳ ගිවිසුමක් පිළිබඳව විදෙස් මාධ්‍ය විස්තර කරයි.

මෙම එකඟතාවය යටතේ තායිවානය ඇමරිකානු බලශක්ති සහ උපකරණ සඳහා ඩොලර් බිලියන 85 ක මුදලක් වැය කිරීමට පොරොන්දු වී ඇති අතර, එයට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව තායිවාන භාණ්ඩ මත පනවා ඇති බදු ප්‍රතිශතය අඩු කිරීමට තීරණය කර ඇත.

තායිවාන ජනාධිපතිවරයාට අනුව, මෙමගින් එරට කෘෂිකාර්මික සහ ආහාර නිෂ්පාදන රැසකට ඇමරිකානු වෙළඳපොලේ වැඩි තරඟකාරීත්වයක් හිමිවනු ඇත.

විශේෂයෙන්ම දෙරට අතර පවතින මෙම ආර්ථික සබඳතාවය හරහා තාක්ෂණික අංශයේ සැපයුම් දාමයන් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, තායිවානයේ ප්‍රධානතම කර්මාන්තය වන අර්ධ සන්නායක (chips) ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙම නවතම ගිවිසුම තුළ සෘජු ආයෝජන කොන්දේසි ඇතුළත් කර නොමැති වීම කැපී පෙනේ.

මෙම ගනුදෙනුව මගින් දෙරටේම ජාතික ආරක්ෂාව සහ ආර්ථික සමෘද්ධිය ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.

ආර්ථිකයට ඇති බලපෑම

තායිවාන අපනයන භාණ්ඩ සඳහා මෙතෙක් පැවති සියයට 20ක සාමාන්‍ය තීරුබදු අනුපාතය සියයට 15 දක්වා අඩු කිරීමට ඇමරිකාව එකඟ වී ඇත. විවිධ ව්‍යතිරේකයන් ද ඇතුළුව, තායිවාන භාණ්ඩ මත පැනවෙන සාමාන්‍ය තීරුබදු අනුපාතය සියයට 12.3 දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙමඟින්, ඕකිඩ් මල්, තේ, බබල් ටී (bubble tea) සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, අන්නාසි සහ මැංගෝ වැනි නිෂ්පාදන 2,000කට පමණ තීරුබදු සහන හිමි වේ. මෙලෙස බදු අඩු වීම නිසා ඇමරිකානු වෙළඳපොළ තුළ තායිවාන නිෂ්පාදනවල මිල තරඟකාරිත්වය ඉහළ යනු ඇත.

මෙම ගිවිසුම යටතේ තායිවානය විසින් ඇමරිකාවෙන් ඩොලර් බිලියන 85ක පමණ බලශක්ති, ගුවන් යානා සහ උපකරණ මිලදී ගැනීමට එකඟ වී ඇත. එමෙන්ම ඇමරිකානු භාණ්ඩ සඳහා වන තීරුබදු බාධකවලින් සියයට 99ක් ඉවත් කිරීමට හෝ අඩු කිරීමට තායිවානය පියවර ගනු ඇත.2025 වසරේදී තායිවානයේ අපනයනවලින් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ඇමරිකාවට ලැබී ඇති අතර, එය වසර 25කට පසු තායිවානයේ විශාලතම වෙළඳපොළ බවට පත්ව ඇත.

තායිවානයේ චිප්ස් කර්මාන්තය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 20ක් පමණ නියෝජනය කරයි. 2025 වසරේදී AI චිප්ස් සඳහා වූ ඉහළ ඉල්ලුම නිසා තායිවානයේ අපනයන සියයට 35කින් වර්ධනය වී ඩොලර් බිලියන 640.75ක වාර්තාගත අගයක් ගෙන ඇත.

මෙම ගිවිසුම මගින් ඉහළ තාක්ෂණික අංශවල සැපයුම් දාමයන්හි ඔරොත්තු දීමේ හැකියාව (resilience) සැලකිය යුතු ලෙස ඉහළ නංවන බව ඇමරිකානු වෙළඳ නියෝජිතයා ප්‍රකාශ කර ඇත

තවද, මෙම නිශ්චිත ගිවිසුම තුළ චිප්ස් කර්මාන්තය සඳහා සෘජු ආයෝජන කැපවීම් ඇතුළත් නොවූවත්, ජනවාරි මාසයේදී ඇති කරගත් ගිවිසුමක් මගින් තායිවාන සමාගම් (TSMC ඇතුළුව) ඇමරිකානු චිප්ස් කර්මාන්තයේ ඩොලර් බිලියන 250ක් ආයෝජනය කිරීමට දැනටමත් එකඟ වී ඇත.

ඒ අනුව, මෙම ගිවිසුම තායිවානයේ ආර්ථිකයට "තීරණාත්මක" (pivotal) අවස්ථාවක් ලෙස එරට ජනාධිපතිවරයා හඳුන්වා දී ඇත.