රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය බවට පත් වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මතභේදාත්මක ලෙස පාර්ලිමේන්තුව විසින් දෝෂාභියෝගයට ලක් කිරීමෙන් අනතුරුව ඇයව ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව, වසර 14කට පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් හෙට (15) කොළඹදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසයි.
අද (14)දින, අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව නීතිඥ සංගමයේ ස්ථාවරය පැහැදිලි කරමින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා පවසා සිටියේ හෙට ප.ව. 3ට මෙම හදිසි රැස්වීම කැඳවා ඇති බවය.
“අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව අද නීතිඥ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණා. මේක සමස්ත නීතිඥ ප්‍රජාවටම බලපාන සිද්ධියක්. මේක අපේ විධායක මණ්ඩලය විසින් තීරණය කර යුතු දෙයක් නෙමෙයි. ඒ නිසා හෙට සවස 3ට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් කැඳවනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඊළඟ පියවර ඒ රැස්වීමේදී තීරණය කරනවා. මේ රැස්වීම අපි කැඳවන්නේ 2012න් පස්සේ. අවසන්වරට මෙවැනි රැස්වීමක් කැඳවූයේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ඒ දෝෂාභියෝග ප්‍රශ්නයට. ඉන් පසු අවුරුදු 14කට පස්සේ අපි මේ රැස්වීම කැඳවන්නේ” යැයි පැවසීය.

