සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ රාජ්‍ය බලය දැරූ ෂෙයික් හසීනා බලයෙන් පහ කිරීමත් සමඟ රටේ පැවති පළමු ජාතික මැතිවරණය බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) ජයග්‍රහණය කර තිබේ.
පෙබරවාරි මස (12)වන දින පැවති මැතිවරණය සම්බන්ධයෙන් බංග්ලාදේශ මැතිවරණ නිලධාරීන් විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද තොරතුරු වලට අනුව, පාර්ලිමේන්තුවේ බහුතරයක් සඳහා අවශ්‍ය ආසන 151ක් වෙනුවෙට BNP ආසන 209 ක් දිනාගෙන පහසුවෙන් පාර්ලිමේන්තු බහුතරය ඉක්මවා තිබේ.
බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) නායක, හිටපු අගමැතිනි කලීඩා සියාගේ පුත් තාරික් රහ්මාන් දැන් රටේ ඊළඟ අගමැති වීමට නියමිත වන අතර හෙට(15)දිනය වන විට පක්ෂය රජයක් පිහිටුවීමට අපේක්ෂා කරන බව BNP නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
මැතිවරණ කොමිසම තවමත් අවසන් ඡන්ද ප්‍රතිඵලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර මෙවර මිලියන 127 කට අධික ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබු අතර ඉන් ජන්ද දායකයන්ගෙන් 60%ක් පමණ සිය ජන්දය ප්‍රකාශ කර තිබිණි.
රහ්මාන්ගේ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතූ පළමු අය අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සහ බංග්ලාදේශයේ ඇමරිකානු තානාපති බ්‍රෙන්ට් ටී ක්‍රිස්ටෙන්සන් ද වූහ. ඩකාහි චීන තානාපති කාර්යාලයන්ගේද ඒ අතර වේ. කෙසේ නමුත්, සිය පක්ෂ ජයග්‍රහණය සම්බන්ධයෙන් තාරික් රහ්මාන් මෙතෙක් අදහස් දක්වා නොමැත.



