සහබන්දු ගැන පසු සටහනක්

0
6

නිශ්මං රණසිංහ පෙබරවාරි 20, කොළඹ LNW

කෝසල සහබන්දු ගැන බොහෝ සටහන් ලියැවී අවසන්ය.ඔහුට මේ කිසිවක් නොපෙනෙයි.එහෙත් ඔහු ලංකාවේ මලල ක්‍රීඩාව දකිමින් සිටි ආකාරය වර්ථමානයට බෙහෙවින් වැදගත්ය.විශේෂයෙන් ක්‍රීඩකයන්ට වැදගත්ය.
ඔහු ටෙහොරාන් 400 සහය දිවීමේ විප්ලවීය ජයග්‍රහණයේ ලාබාලතම සාමාජිකයා මෙන්ම මීටර් 800 ඉසව්වේදී ශ්‍රී ලංකා වාර්තාවද තැබූ ධාවකයෙකු විය.එසේම මලල ක්‍රීඩා තේරීම් කමිටුවල සභාපති පදවිය ද ඔහු දැරීය.ඔහු එවැනි වගකීම්වලදී ජනමාධ්‍ය දෙස බොහෝ විමසිල්ලෙන් සිටි අයෙකි.තමන්ට මඟ හැරෙන දක්ෂයන් කොතැන හෝ මතුවෙමින් සිටින්නේද යන්න පරික්ෂා කිරීමට අවධානය දුන්නේය.


ඉහත සියළු කරුණු අමුතු දේවල් නොවේය.ඔහු වත්මන් පරපුර දෙස බැලුවේ වගකීම් ඇති වැඩිහිටියෙකු ලෙසය.පීතෘ ගුණය සහිතවය.
කාලයක් ජාතික මට්ටමේ අංක එකේ ක්‍රීඩිකාවක් ගැටළුකාරී තත්ත්වයකින් යුතුව සිය ක්‍රීඩා දිවිය පෙරට රැඟෙන යන සටනට මුහුණ දුන්නේ අපේ නිවසේ සිටය.එය දැනගත් කෝසල සහබන්දු කී කතා කිහිපයක් මෙහි සටහන් කළ යුතුමය.


ඔහු ඇය ඒ වන විට හමුදාවකට සම්බන්ධ වී සිටීම ගැන දැන ගන්නට අවශ්‍යය විය.එම පත්වීම දක්වන ඉහළ දක්ෂතා අනුව උසස්වීමක් කරා යා හැකි එකඟතාවයකින් එම හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ එකඟතාවය ඇතිව කළ සම්බන්ධ කිරීමක් බව මම පැවසිමි.ඔහු සතුටට පත් විය.එහෙත් තව මොනවා හරි ඉගෙන ගන්න කියන්න.අධ්‍යාපනය සම්බන්ධ සුදුසුකමක් විදිහට පෙන්නන්න පුළුවන් දෙයක් යන අදහස ඔහු මට ඉදිරිපත් කළේ උසස්වීම සහ ධාවන ජීවිතයේ නිමාවේ එන අභියෝගයට ඇය සූදානම් කරන ලෙස උපදෙස් දෙමින්ය.
ළමයින්ට උගන්නන්න ඕනිමයි.හමුදාවලට ගියාට කමක් නැහැ.ක්‍රීඩා කරන එකට අමතරව අධ්‍යාපනයක් ඕනි.වෘත්තියක් විදිහට ක්‍රීඩාව කරන්න පරිසරයක් නැති නිසා ක්‍රීඩාවෙන් පස්සෙ වෘත්තියක් කරන්න දැණුමක් හදාගන්න ඕනි.“


ඔහුට ක්‍රීඩකයා සම්බන්ධයෙන් තිබුණ අදහස එය විය යුතුය.ඔහු ක්‍රීඩකයන් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගන්නා අවස්ථාවල ද මේ දේ කියන බව මට කියා ඇත.ඒ ඒ විදිහටම නොවන්නට ඇත.එහෙත් ඉගෙන ගැනීමට පොළඹවන සුළු අදහසක් දෙන්නට ඔහු හැමවිටම උත්සාහ කළේය.


අඩු අධ්‍යාපන සුදුසුකම් ගැන ඔහු පසුතැවිල්ලෙන් සිටියේය.ඒ එහි ආදීනව දැක ඇති වූ කණගාටුවෙන්ය.
මං කරන රස්සාව නිසා මම ස්වාධීනයි.මගේ යැපීම ගැන එක එක්කෙනා ගැන වඳ වෙවී ඉන්න දෙයක් නැහැ.ක්‍රීඩකයෙක් හැටියට ආඩම්බර වෙන මනුස්සයෙක්ට ඒ ආඩම්බරේ තියාගෙන දිගටම ජීවත්වෙන්න පුළුවන්කමක් හදාගන්න ඕනි.


ඔහු හැමවිටම මලල ක්‍රීඩකයන්ගේ ජීවිතය ගැන සිතුවේ ඒ ආකාරයටය.එසේම නිවස,කාර්යාලය සහ මලල ක්‍රීඩාව අතර පරතරය ඔහු සමාන්තරව තබාගෙන ජීවිතය ගෙවා දැමුවේය.ඒවා අතර එකිනෙක පැටලිලි නොවීය.ඉතාමත් සංවිධානාත්මකව එකිනෙකට වෙනස් වගකීම් ඒවාට සාධාරණයක් වන ආකාරයට ගෙවා දමන්නට කෝසල සහබන්දු දැක් වූ හැකියාව අති විශිෂ්ට ය.
ඔහු ඉගෙන ගන්නට බොහෝ දේ ඇති චරිතයක් විය.ඔහුගේ අඩුව වෙන කිසිවෙකුට පිරිමැසිය නොහැකි එකක් වන්නේ එබැවින්ය.මීටර් 400 දුවන්න,මීටර් 800 දුවන්න කෝසල සහබන්දු පසුකර යා හැකි බොහෝ දෙනා මතු වනු ඇත.ඒත් ඔහු සතුව තිබූ ජීවත්වීමේ ගුණාංගයන් දුලබය.අධ්‍යාපනය,ක්‍රීඩාව සමාන්තරව රැඟෙන ගිය ආකාරයටම ක්‍රීඩාව,වෘත්තිය සහ පවුල පසුකලෙක රැඟෙන ගිය ආකාරය ද වැදගත්ය.ඔහු මේ තුන් තැන් හි සාර්ථක එකිනෙකට වෙනස් භූමිකා තුනක ඉතා හොඳින් ඉදිරිපත් කළ අයෙකි.ඒ හැකියාව ඔහු ක්‍රීඩාවෙන් උපයාගත් ක්‍රියාකාරීත්වය සහ සංයමය හරහා උපයාගත් එකක් බව මා කීව ද එවැනි අවස්ථාවක ඔහු සිඳු කළේ පිළිතුරක් නොදී සිනහ සී සිය සුරතින් මගේ අතට ගසා එය අල්ලා ගැනීම පමණි.එහෙත් ඔහු නික්ම යන තෙක්ම මා විශ්වාස කළ දේ හරි යැයි ඔහු වචනයෙන් නොකීව ද ‘ක්‍රීඩාව ජීවිතයට හරි වැදගත් මෙයා‘ කියා ඔහු නිරන්තරයෙන් පැවසුවේ ඒ ගැන විය යුතු බව මම විශ්වාස කරමි.
ආදරණිය මිත්‍රයා ඔබට මගේ භක්තිමත් ගෞරවය!