තම අධිකරණය විසින් මින් පෙර නිකුත් කර ඇති නියෝග ප්‍රකාරව ජෝන් කීල්ස් CG ඔටෝ සමාගම විසින් ඉදිරියේදී මෙරටට ගෙන්වනු ලබන BYD වාහන බැංකු ඇපකර සහ සමාගම් බැඳුම්කර යටතේ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය ශ්‍රී ලංකා රේගුවට නියම කර තිබේ.
ඒ, ජෝන් කීල්ස් CG ඔටෝ සමාගම විසින් ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලීමෙන් අනතුරුවය.
පෙත්සම්කාර සමාගම විසින් මීට පෙර අවස්ථා කිහිපයකදී ආනයනය කර තිබූ වාහන නිදහස් කිරීමට අදාළව තම අධිකරණය විසින් නියෝග නිකුත් කර ඇති බැවින් වාහන ආනයනය කරන සෑම අවස්ථාවකදීම අධිකරණය හමුවට පැමිණීමට සිදුවීම මගින් එම සමාගම පත්වන අපහසුතාවය මෙන්ම තම අධිකරණයේ කාලය මිඩංගු වීම ද සලකා මෙම නියෝගය නිකුත් කරන බවයි විනිසුරු මඬුල්ල සඳහන් කළේ.
නිෂ්කාශන ක්‍රියාවලියේ ප්‍රමාදයන් නිසා වාහනයක් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන ගැනුම්කරුවන්ට අහිතකර බලපෑමක් සිදුවන්නේය යන්න තම අධිකරණයේ නිගමනය බවත් සභාපතිවරයා එහිදී පැවසීය.
මෙහිදී ශ්‍රී ලංකා රේගුව අධිකරණය දැනුම් දී සිටියේ අදාළ නියෝගය සම්බන්ධයෙන් තම විරුද්ධත්වයක් නොමැති බවයි.
කෙසේවෙතත් පෙත්සම්කාර සමාගම ඉදිරියේදී ආනයනය කරන වාහන සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත සහ නියාමන කාර්යයන් ඉටුකිරීම සඳහා තමන් වෙත දැනුවත් කිරීම වඩා සුදුසු බවත් ශ්‍රී ලංකා රේගුව අභියාචනාධිකරණයට පෙන්වා දුන්නේය.
BYD ඇතැම් මාදිලිවල වාහනවල මෝටර් ධාරිතාවය අඩුවෙන් පෙන්වා වංචනික ලෙස අඩුවෙන් බදුගෙවා ඒවා නිදහස් කරගැනීමට ජෝන් කීල්ස් CG ඔටෝ සමාගම උත්සාහ දරා ඇතැයි යන චෝදනාව මත පසුගිය වසරේදී අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා රේගුව විසින් වාහන තොග කිහිපයක් රඳවා තබාගත් අතර අභියාචනාධිකරණය හමුවේ පැමිණි එකඟතාවක් අනුව බැංකු ඇපකර සහ සමාගම් බැඳුම්කර මත එම වාහන නිදහස් කිරීමට පසුව කටයුතු කෙරිණි.
මෙම වාහනවල මෝටර් ධාරිතාව පිළිබඳ සොයාබැලීම සඳහා විශේෂඥ කමිටුවක් ද පත් කෙරුණු අතර ඒ සම්බන්ධ නඩුව තවමත් විභාග වෙමින් පවතී.
සබැඳි පුවත් –

