හූ ව උත්තරය වන්නේ ඇයි සහ හූවෙන් රිදෙන්නේ ඇයි…?

0
3

නිශ්මං රණසිංහ පෙබරවාරි 27, කොළඹ LNW:

මේ වන විටත් ඔබ නවසීලන්තයට ශ්‍රී ලංකාව පරාජය වූ පසු පැවති මාධ්‍ය හමුවේදී දසුන් ශානකගේ අදහස් දැක්වීම අසා ඇති බව අපි විශ්වාස කරන්නෙමු.ඔහු එහිදී අවධාරණය කරන්නට උත්සාහ කරන්නේ කණ්ඩායම අභ්‍යන්තරයට පිටතින් එන අර්බූද බලපෑමක් ඇති කරන බවය.ඒ නිසාම රජයට හෝ මැදිහත් වී එවා නවතා දෙන්නට යැයි ද කියා දසුන් කියන්නේය.තරගය පරාජය වී ආපසු යන විට පරාජයෙන් අසතුටට පත් අයගේ අදහස් එකතු කරන සමාජ ක්‍රියාකාරීන් ගැන ද දසුන් කියන්නේය.ඒවා තම කණ්ඩායමේ සඟයන් නොබලන බවත්,එහෙත් හිතවතුන් ඒවා එවන බවත් කියන්නේය.


පළමුව නොබලන අයට ඒවා බලන්නට එවන අය හිතවතුන් නොවේය.එසේ කියන්නේ ඔබලා ඒවා නොබලන්නේ බලන්නට සහ ඒවා දරා ගන්නට ශක්තියක් නැති නිසාය.ඒ බව නොදැන එම වීඩියෝ ඔබට එවන අය ඔබව තේරුම් නොගත් අයය.හිතවතුන් නොවේය.
කෙසේ නමුත් මේ කාරණාවලින් කියවෙන්නේ ඔවුන්ට ක්‍රීඩාපිටිය ඇතුළත සහ පිටත ඇති කාරණා එකට මුසු වූ හැඟීමකින් ක්‍රීඩා පිටියේ සිටින බවය.ඒ මිශ්‍රණය හංසයා දියෙන් කිරි වෙන් කරවා ගන්නවා සේ වෙන් කර ගැනීමේ සූත්‍රය දත යුතුය.ලෝකයේ හොඳම පුහුණුකරුවා ගෙනවිත් ක්‍රිකට් කියා දුන්නත්,මේ නිරවුල් මනස ඇති කර ගැනීමට මේ පොළවේ පහළ සිට ඉහළට අවබෝධ කර ගත්,පවතින සංස්කෘතියේ සහ වඩාත් හොඳින් තේරෙන භාෂාවකින් මේ ඔළු සකස් කිරීමේ අඩුවක් පවතින බව කලෙක සිට කියූවත්,එයට ද ලෝකයේ කොහේ හරි ඉහළම සුදුසුකම් ඇති විදේශිකයෙකු කැඳවීමම සිඳුවන්නේය.


එය සුදුසුද නුසුදුසු ද යන කාරණය ගැන සිතීමට වන්නේ ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යාපනික සහ සමාජ පසුබිම සම්බන්ධ මුල් සමඟය.මේ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 96 ලෝක කුසලානය දිනීමෙන් පසුව ඇති වූ ක්‍රිකට් ආර්ථිකයට පෙම් කරන්නට සිය වැඩිහිටයන්ගේ ආශිර්වාදය ඇතුව හුරු වූ අයය.ඔවුන්ගේ ක්‍රිකට් දක්ෂතාවය පදනම් වූයේ ආර්ථිකමය උවමනාවන් මත මිස ක්‍රිකට්මය වූ ආස්වාදයක් නිසාම නොවේය.හොඳ ජීවිතයකට පාර සොයා ගැනීමේ සළකුණක් ලෙස ක්‍රිකට් හි නිරතවීම සහ සොයා ගත් ජීවිතය රැක ගැනීම පිණිස ක්‍රිකට් හී දක්ෂතා රැක ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවය.මේ අපේක්ෂාවට සරිලන්නට වැඩ කරන ක්‍රීඩක කළමණාකරුවන් ද ඔවුන් හරහා එන ධනය පරිශිලනය කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවන්නේ ද ඔවුන්ගේ පෞද්ගලික අභිලාෂයන් කෙරෙහිම මිස,ඔවුන්ව ක්‍රිකට්මය අනන්‍යතාවයක් පදනම් කර ගත් චරිත කිරීමට නොවේය.
ඒ නිසා මොවුන්ව අභිප්‍රේරණය කිරීම මේ සංස්කෘතිය සහ ඔවුන්ගේ සිතුවිලි ක්‍රියා කරන භාෂාව අනුව හසුරුවන්නට සිඳු වන්නේය.කළමණාකරුවන් ද මීට වඩා දැඩි පාලනයකට නඩත්තු විය යුතු අතර ක්‍රීඩක කළමණාකරණය පිළිබඳ සුදුසුකම් හෝ ඔවුන් කෙතරම් දුරට අධ්‍යාපනික වශයෙන් න්‍යායාත්මකව සහ ප්‍රයෝගිකව පුද්ගල කළමණාකරණයට සුදුසුද යන්න පිළිබඳව සොයා බැලිය යුතුව ඇත.මේ කාරණා පිළිබඳව සැළකිල්ල යොමු කරන තුරු ක්‍රීඩකයන් ප්‍රේක්ෂකයා ඔළුවේ තබාගෙන දක්වන ප්‍රතිචාර වෙනස් නොවන අතර ප්‍රේක්ෂකයා වෙනස් කිරීමට අවශ්‍යය හේතුව ක්‍රීඩකයින් තුළින් ද දැකිය හැකි නොවනු ඇත.


මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ක්‍රිකට් හී ආර්ථිකයය.වෙනත් ක්‍රීඩාවල ප්‍රශ්න රාශියක් ඇතත් ඒවා පාර්ලිමේන්තුවට අදාළ වන්නේ නැති තරම්ය.ක්‍රිකට් සම්බන්ධයෙන් ප්‍රශ්න නිර්මාණය කරමින් හෝ කතා කරන්නේ ඊට සම්බන්ධ වන්නට මඟක් පාදා ගැනීමේ යටි අරමුණ ද සහිතවය.


ලංකාවේ ක්‍රිකට් යනු සෑම අතින්ම ජනතාව අතෘප්තියට පත්ව සිටින රාජ්‍යයක සතුට වෙනුවෙන් ඉතුරු වී ඇති බලවත්ම දේ ය.ඒ තෘප්තිය අපේක්ෂාවෙන් සිටින පිරිස ආමන්ත්‍රණය කිරීම සහ විශේෂයෙන් අපේක්ෂිත තෘප්තිය නොලද අවස්ථාවක ඒ වේදනාවට ආමන්ත්‍රණය කිරීම සමාජ මාධ්‍ය විෂයෙහි හොඳ ජනප්‍රිය කාරණාවක්ය.ඊට අවශ්‍යය පසුබිම සහ පදනම ක්‍රිකට් පරිපාලනය දිනා ගැනිම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටින සහ ක්‍රිකට් හී ජනප්‍රියකම දේශපාලනයට රැඟෙන එන සියල්ලෝත් ඉටු කර දෙති.


මේ ලෝක කුසලානය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් හී කාර්යභාරය කුමක් ද? මේ ආසන්න ලෙස පැමිණි දෙවන ලෝක කුසලාන තරගාවලියය.ඉකුත් වසරේ කාන්තා තරගාවලියක් ද ආවේය.ඉන්දියාව ශ්‍රී ලංකාව නටවන බව කීව ද,ඉන්දියාවට යමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව ඇවසි මොහොතක් භූ දේශපාලන සංදර්භය තුළ නිර්මාණය වී ඇත.මේ මොහොතේ කළාපීය දේශපාලනය තුළ එකිනෙකා කෙරෙහි ඇති පස මිතුරුකම් ක්‍රීඩාවටද සෘජුවම බල පා ඇති අතර ඒ නිසා ඉන්දියාවට ජාත්‍යන්තර මට්ටමේ ආසන්නම සහකරුවා වන්නේ ශ්‍රී ලංකාවය.කළාපයේ තියෙන විශ්වාසවන්තම භූමිය ලෙස ශ්‍රී ලංකාවට ක්‍රිකට්වලින් හොඳ ඉල්ලමක් පෑදි ඇත.එසේ නොවන විට තරගාවලි පවත්වන්න මැද පෙරදිග යන්නට සිඳුවන්නේය.කළාප එකඟතාවය මිත්‍රත්වය නොමැති නිසා දකුණු ආසියාවට ලබා ගත හැකි මූල්‍ය ලාභයන් මැද පෙරදිගට නොයා රැක ගැනීමට ඇති පොදු බිම ශ්‍රී ලංකාවය.


ක්‍රිකට් ව්‍යාපාරයක් ලෙස අරුත් ගැන්වීම ඇත්ත වන්නේ ක්‍රීඩාවට එහා ගිය මෙවැනි කටයුතු කළමණාකරනය කිරීම සහ එයින් විශාල ආදායමක් උපයන නිසාය.මේ තරගාවලි සංවිධාන හැකියාව සහ විශ්වාසය එන්නේද ඒ කළමණාකරනය හොඳ බැවින්ය.එසේම රට පුරා පාසල් ඉලක්ක කරගෙන ක්‍රිකට් භාණ්ඩ බෙදා දීමක් සිඳු වන්නේය.ක්‍රීඩා සමාජවලට ද ලැබෙන්නේය.දිස්‍ත්‍රික් සංගම් බොහොමයක් උපයන උපයා වැඩ කරන ඒවා නොවේය.ක්‍රිකට් ආයතනයේ සැළසුම එයින් ලැබෙන මුදලින් මෙහෙයවන ඒවාය.ඒ හැම දිස්ත්‍රික්කයකටම වාගේ තණතීරුවක් සහිත ක්‍රිකට් බිමක් සකසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩ පිළිවෙලක් දියත් කරන්නේය.ක්‍රික්ටවලට කරන මෙහෙවරට අමතරව වෙනත් ක්‍රීඩාවල සුබ සාධනට=යට විදේශ සංචාරවලට ද ක්‍රිකට් ආයතනයෙන් ආධාර එන්නේය.පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට වරක් ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායමටම සමස්ත අනුග්‍රහයෙන් විශාල කොටසක් දැරුවේය.තව පිළිකා ඖෂධ සහ ළමා හදවත් සැත්කම් වැනි ව්‍යාපෘතිවලට ද ක්‍රීඩා අමාත්‍යංශයේ ඇතැම් ක්‍රීඩා වැඩ සටහන්වලට ද අමාත්‍යංශ වැඩවලටද ක්‍රිකට් ආධාර ලැබී ඇත.


මේ සියල්ලම කර හොරකම් කරන්නටත් මුදල් තිබේනම් එහි ආදායම කොපමණ වනු ඇද්ද?මේ සටන්කාමීන් ඒ මුදල් පාලනයට ඇති කැමත්ත නිසා සටන් කරනවාද කියා බොහෝ දෙනෙකුට නොහැඟෙන හේතුව සිතා ගන්නට බැරිය.වරක් මේ මුදල් කන්දරාව ගැවසෙන අතුරු පාලනයක් ලෝක කුසලානයකුත් කර සේවක පඩි නඩි ගෙවා ගන්නට නැති තැනට පත් කර තිබියදී නැවත පරිපාලනය පවතින ඡන්ද ක්‍රමයෙන් ලබා ගෙන මේ තත්ත්වයට ගෙනවිත් ඇත.සල්ලි වියදම් කර වැඩ කරන පරිපාලනයේ හොරකම් ගැන අවලාද කියන අය කිසිවෙකුත් වැඩත් නොකර පඩිත් ගෙවා ගන්නට බැරි තත්ත්වයට ක්‍රිකට් පත් කළ පරිපාලනය ගැන සොයන්න නොකියන්නේ ඇයිදැයි අපි නොදනිමු.අසාර්ථක වූ අයම තමන්ව පරික්ෂා කිරීමට කියන්නේ කෙසේද වැනි කරුණකින් එය වැළකෙනවා විය හැකිය.


ලංකාවේ ක්‍රීඩාවන් සම්බන්ධ පරිපාලනයන්ගෙන් වැඩිපුරම සල්ලි තිබෙන සහ ආණුඩුවට කරදරයක් නොකර අනිත් ක්‍රීඩාවන්ටත් උපකාර කරන මට්ටමෙන් ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ය.අනිත් ක්‍රීඩාවකට ඉන්දියාවට ක්‍රීඩකයින් පිරිසක් හෝ කණ්ඩායමක් යවන්න වුවත් ඇමති දොරකඩ කැරකෙමින් ගුවන් ටිකට්පතේ සිට මුදල් ඉල්ලමින් කරදර කරන්නට සිඳු වෙන්නේය.ඒ නිසා ක්‍රිකට්වලට දේශපාලකයා යටත් නොවුණ ද,ක්‍රිකට්වලට දේශපාලකයා පිටුපස සිඟමනේ යන්නට අනවශ්‍යය බැවින් අභිමානයෙන් කටයුතු කරමින් සිටින්නේය.
දැන් මේ පරිපාලන කණ්ඩායම වෙනුවට නම් ගණනාවක් යොජනා වෙමින් සිටින්නේය.ඒ අය දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ආකාරයට සිඳු වෙමන් පවතින යෝජනාවලින් පැමිණෙන කවුරු වුව ද,ශ්‍රී ලංකා ක්‍රිකට් හි ආර්ථිකමය ස්ථාවරය රඳවා ගත යුතුය.කිසිවක් නොකර අමාත්‍යංශයෙන් ඉල්ලා වැඩ කරන අනිත් සංගම්,සම්මේලන මට්ටමෙන් කටයුතු කරන්නේනම් ශ්‍රී ලංකා ක්‍රිකට් නඩත්තු කරන්නට නොහැකිය.එහි සේවක සේවිකාවන්ම රටේ විවිධ තැන්වල සේවය කරන්නේය.දිස්ත්‍රික් පුහුණුකරුවන් සහ එම සංගම්වල ඇතැම් තැන්වල ක්‍රීඩාංගණ සේවකයින් වෙනුවෙන් ද වැටුප් ගෙවෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ය.


විාශ්ෂයෙන් අප්‍රමාණ දුක් කන්දක් දරාගෙන ලෝකයේ හොඳම ක්‍රීඩාංගණ සේවකයින් වෙන්ට මහන්සි වී වැඩ කරන සේවක වැටුප පවා තිබෙන්නේ රජයේ හෝ පෞද්ගලික අංශවල කම්කරු වැටුපට ඉහළය.එවැනි කීර්තිමත් මිනිසුන්ට ලෝකයම ගරු කරන තැනක සිටියත් ශ්‍රී ලංකාවේ හිටපු කීර්තිමත්ම නායකයෙකු ඔහුට හිමි දේපළක් නොදී වෙනත් අය පැහැරගෙන සිටින සේ හැසිරෙමින් ලෝකයේම ගෞරවයට පාත්‍රවන ක්‍රීඩාංගණ සේවකයින් ද පගාකරුවන් කර කතා කර මහා ව්‍යසනයක් නිර්මාණය කරන්නට උත්සාහ ගත්තේය.
මේ යාන්ත්‍රණය දුවන්නේ බල අරගලයකය.ඒ වෙනුවෙන් ක්‍රීඩකයන්ටද වන්දි ගෙවන්නට සහ අවමන් සහගත වේදනාවන් හී ගොදුරු වන්නට වී ඇත.ඒ ඇත්තම ක්‍රිකට් ගැටළුවලට එහායින් ක්‍රිකට් දේශපාලනය සහ ව්‍යවස්ථාදායකය විසින් කරනු ලබන බලපෑම මත සමාජය සකස් වී ඇති ආකාරය අනුවය.ක්‍රීඩකයන් තෝරන්නේ කවුද කියා අවසාන තීරණය ගන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නොවේය.ඒ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නම් කරන ලේඛණයකින් තෝරා පත් කර භාර ගන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාය.එහෙත් යම් සාකච්ඡාමය කාරණා පවතින නීතිමය තත්ත්වයන්ට බැහැරව සිඳුවන්නට හැකි බව අපි ද පිළිගන්නෙමු.එහෙත් බලපෑම් කිරීමේ හෝ බලහත්කාරයේ හැඩයෙන් එය වන්නේනම් බලධාරියා ලෙස කටයුතු කරන්නට ක්‍රීඩා අමාත්‍යවරයාට බලය ඇත.


පත් කරන ලද කණ්ඩායමට අවසාන අනුමැතිය එන්නේ ක්‍රිකට් සභාපතිවරයා නොවේය.අමාත්‍යවරයාය.එම කණ්ඩායම තමන්ගේ දැණුමට අනුව නිවැරදි නොවේනම් සාකච්ඡා කිරීමට අමාත්‍යවරයාට තේරීම් කමිටුව කැඳවීමට හැකියාව ඇත.එහෙත් මේ ඉසව් ස්පර්ශ නොවී සම්බන්ධයක් නැති ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ක්‍රීඩකයින් ඊට ඈදෙන්නේ මේ සියල්ලම සිඳුවන්නේ පරිපාලනය නිලවරණයකින් නොවන ආකාරයකින් පැහැර ගැනීමට අවශ්‍යය පොටක් පාදා ගන්නටය.එහි ගොදුරු ලෙස ක්‍රීඩකයින් පත්වන අතර ක්‍රීඩකයින් තමන්ව දඩයම් කරන්නට එන දඩයක්කරුවන් ලෙස හඳුන්වන්නේ ප්‍රේක්ෂකයින්ය.මේ ඇත්ත තත්ත්වය ප්‍රේක්ෂකයා තේරුම් ගන්නේ නැත.එම තේරුම් කිරීම දුෂ්කරය.දේශපාලනික,ආර්ථික වශයෙන් හෝ සංස්කෘතික වශයෙන් තෘප්තියට පත්වන්නට නොහැකි මිනිසුන් නිර්මාණය කරන සමාජ ව්‍යහුයක ඔවුන්ගේ සතුට ඉතිරි වී තිබෙන්නේ ක්‍රිකට්වල පමණි.පරාජය යනු ඊට එල්ල වන දැවන්ත ප්‍රහාරයක්ය.එය ඇස් පනාපිට සිඳුවෙද්දී දරාගෙන ඉන්න අපහසුය.විරෝධය,කෝපය හූ සේ විවිධ අපහාසාත්මක වදන් සේ ප්‍රේක්ෂක මුවවල්වලින් එළියට එන්නේ එවැනි අවස්ථාවන්වලදී ය.


මේ කාරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ප්‍රේක්ෂකයින් ඊට වඩා වෙනස් ආකාරයෙන් නිර්මාණය කරන්නට නොහැකිය.එහෙත් දසුන් පවසන කණ්ඩායමේ මානසිකත්වය වෙනස් කරන්නට වැඩ සටහන් දියත් කළ හැකිය.ඊට අප එදා සිටම යෝජනා කළේ මොවුන්ට ගැලපෙන සංස්කෘතික වශයෙන් අවබෝධ කර ගත හැකි බසකින් ඔළුව හදන වැඩ පිළිවෙලක්ය.එසේම ක්‍රීඩකයින් සහ කළමනාකරුවන් අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් මීට වඩා බලපෑම් සහගත ක්‍රියාවලියකින් සම්බන්ධ විය යුතුය.ආර්ථිකමය වශයෙන් හසුරුවන ආකාරය ගැන විධිමත් වාර්තා මෙන්ම ඔවුන්ට ඇති සමාජ මාධ්‍ය ගිණුම් ගැන නිවැරදි දත්ත සහ ඊට කරන වියදම් ද සැළකිල්ලට ගත යුතු අතර ඒවා සීමා කිරීමට විනයානුකූලව ක්‍රියා කිරීමට ද හැකිය.


සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකංවෙන් හොඳටම ගුටි කා පළමු අට දෙනාටවත් නොමැතිව සිය රට යන්න වුණ ඔස්ට්‍රේලියාවට හූ කියන්නට හෝ මේ ආකාරයට අපහාසාත්මකව සමාජ මාධ්‍ය ජාලවල කරුණු වපුරන්නට එරට ප්‍රේක්ෂකයින් ඉදිරිපත් නොවන්නේ ඇයි?ඔවුන් ඔවුන්ගේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට මේ තරගාවලියේදී අත් වූ ඉරණම ගැන පසුතැවෙන්නේ හෝ දුක්වන්නේ නැද්ද?


හේතුව දුකක් නැතිවීම නොවේය.ඔවුන්ගේ සංස්කෘතිය දේශපාලනය සහ ආර්ථිකය වැනි කාරණාවන් වලින් අපට වඩා තෘප්තිමත් වීමට හේතු විශාල ප්‍රමාණයක් ඇති ජනතාවක් වෙන්නට එරට මිනිසුන් වාසනාවන්ත වීමය.ක්‍රීඩාවන්ම ගත්තද ඔවුන් ලෝක මට්ටමේ සිටින ක්‍රීඩාවන් බොහෝ ය.ඒ නිසා සතුටේදී මහා හඬින් දින මාස ගණන් උත්සව පවත්වා සතුටු වෙන්නට අවශ්‍යය නැත.එවැනි දේ මහා විශාලෙට භාරනොගෙන සාමාන්‍ය සිඳුවීමක් සේ භාර ගන්නට හැකි තරම් ජයග්‍රහණ සුලබ සමාජයක් ඔස්ට්‍රේලියාවේ තිබුණාට ලංකාවේ නැත.ලංකාවේ තියෙන එකම එක ආරක්ෂා කර ගන්නට මජඩ අවලාද පසෙකලා ක්‍රිකට් පරිපාලනය කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ඔළු දරා ගැනීමට සහ තේරුම් ගැනීමට හැකි මටිටමට ශක්තිමත් කරන ව්‍යායාමයකට යන්නේනම් වැදගත්ය.


බොහෝ රටවල් රටවල් අතර ඇති විරසකය නිසා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආරක්ෂාව දෙන්නට සිඳු වී ඇත.එහෙත් අපේ රටේ ප්‍රේක්ෂකයාගෙන් අපේ ක්‍රීඩකයන්ට බලපෑම් එල්ලවිම තරමක් වෙනස්ය.කාලයක සිට මේ තත්ත්වයට ප්‍රේක්ෂනයා වෙනස් කිරීම සිඳුවන්නේ මේ බල අරගලයේ නියැලෙන සහ ඊට සම්බන්ධ ක්‍රීඩාවේ සහ දේශපාලනයේ නියුතු පිරිස් ය.මේ සමඟ වන ඡායාරූපය ඒ ගැන සටහන් කරමින් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ පළ කළ ඡායාරූපයකි.


අපේ රට ස්වර්ගයක් යැයි සිතා කළාපයේ විරසක රටවල් ක්‍රිකට්වලදී මුණ ගැසෙන්නට ශ්‍රී ලංකාව යෝජනා කරද්දී මෙහි සිටින්නේ විනයක් නැති පරාස්ස ස්වරූප හැසිරීම ඇති මිනිසුන් බව අප විසින් ඔප්පු කර පෙන්වා දෙන්නේනම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට පමණක් නොව රටට ද ලැබෙන බොහෝ ප්‍රතිලාභ මැද පෙරදිගට ඇදී යනු ඇත.ඒ නිසා මේ නො‘ඉවසීම සහ අසංවර ප්‍රතිචාර ශ්‍රී ලංකාවේ සෑම කේෂ්ත්‍රයකටම පාහේ නරක බලපෑමක් ඇති කරනු ඇත.එසේම කවුරු මේ තත්ත්වය ප්‍රෙක්ෂකයා පත් කළ ද ඊ ළඟ තත්පරයේ කවුරුන් පාලකයා වුව ද, ක්‍රිකට් ක්‍රීඩකයාගේ විනය ගැන මෙන්ම ප්‍රෙක්ෂකයාගේ හැසිරීම ගැන ද වැඩි අවධානයකින් කටයුතු කරන්නට සිඳුවනු ඇත.බොහෝ විට අස්වැන්න පාළු කරන වල්පලෑටි ඉස කුඹුර අවුල් කරන්නට හැකි වුව ද,ඒ කුඹුරේ අයිතිය තමන්ට ලැබුණොත්…?
කුඹුර අයිති කරන්නට උත්සාහ කරන පිරිස් අඩුම තරමේ ඒ තරමින්වත් බුද්ධිමත් වෙනවානම් හොඳ නැද්ද?