ගල් අඟුරු වංචාවේ මහමොළකරුවන් කවුද කියා රජය අනාවරණය කළ යුතුයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

0
5

මේ මොහොත වන විට අප රටේ ගල් අගුරු ආනයන ක්ෂේත්‍රයේ බරපතළ අර්බුධයක් හා උග්‍ර ගැටලුවක් නිර්මාණය වී ඇති මොහොතක රජය නව ටෙන්ඩරයක් සකස් කරමින් පවතින බවත් මේ ටෙන්ඩරය හදිසි මිලදී ගැනීමක් වන බවත් සාමාන්‍යයෙන් ගල් අගුරු ආනයනය කරන විට spot ටෙන්ඩරයක් (කෙටි කාලයක් තුළ කුඩා ප්‍රමාණයක් ගැනීම) හෝ term ටෙන්ඩර් එකක් (වැඩි ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තුළ ලබා ගැනීම) හෝ මේ දෙකේම මිශ්‍රණයක් අනුව සිදු කරන නමුත් මේ අවස්ථාවේ දී මේ ක්‍රමදෙකෙහි මිශ්‍රණයක් අනුව නොයා හදීසි මිලදී ගැනීමක් කිරීමට, ගල් අගුරු ටොන් ලක්ෂ 3ක් එනම් නැව් 5ක් මිලදී ගැනීමට රජය කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද වන විට ගල් අගුරු ක්ෂේත්‍රයේ ප්‍රමිතියේ ගැටලුවක් ඇති බවත් ගල් අගුරු ගෙන ඒම, ප්‍රමාණය සහ ප්‍රමාදයේ ද ගැටලුවක් ඇති බවත් මේ ගැටලු නිර්මාණය වී ඇත්තේ ගල් අගුරු මිලදී ගැනීමේ දී ක්‍රියාත්මක වූ අකාර්යක්ෂම අවිධිමත් අසාර්ථක ප්‍රසම්පාදන ක්‍රමවේදය නිසා බවත් ගල් අගුරු වංචාවක් තුළ බාල ගල් අගුරු ගෙන්වීමේ කූඨ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේම වසරකට ගල් අගුරු නැව් 36ක් අප රටට අවශ්‍ය වී ඇති මොහොතක ගුණාත්මකභාවයෙන් ඉහළ රුසියානු නැව් 11ක් පමණක් අප රටට පැමිණ ඇති බවත් තවත් නැව් 25ක් වෙනත් ටෙන්ඩරයක් හරහා ආනයනය කර ඇති බවත් ඉන් ගෙන ආ 10න් 9ක්ම බාල ගල් අගුරු යැයි ඔප්පු වී ඇති මොහොතක හදිසි මිලදී ගැනීමක් සිදු කරන්නේ අවශ්‍ය ගල් අගුරු ප්‍රමාණය නියමිත වේලාවට නියමිත ප්‍රමාණයට හා නියමිත ප්‍රමිතියට නොමැති වීම නිසා බවත් මේ හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය නිසා බොහෝ දුරට රටට ජනතාවට විදුලි පාරිභෝගිකයන්ට මූල්‍ය පාඩුවක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ගල් අගුරු නැවක් අප රටට පැමිණිමට දින 40ක් යන මොහොතක මේ ටෙන්ඩරය ක්‍රියාත්මක වන්නේ අප්‍රේල් 20 සහ මැයි 15 අතර කාලයේ බවත් මේ වාරකන් කාලය පවා රජට අමතර නැව් 5ක් ඇනවුම් කර ඇත්තේ මීට පෙර ගෙන්වූයේ ගල් අගුරු බාල නිසා බවත් එසේ රජය ගෙන් වූ ගල් අගුරු නැව් 9යෙන් මෙගාවොට් 300 නිපදවිය නොහැකි බවත් මේ බාල ගල් අගුරු නිසා මහා පරිමාණ වංචාවක් සිදුව ඇති බවත් මේ වංචාව නිසා රටටත් ජනතාවටත් රජයටත් විශාල පාඩුවක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ ගල් අගුරු වංචාවේ මහමොළකරුවන් කවුද කියා අනාවරණය කළ යුතු බවත් මේ ගල් අගුරු වංචාව ගැන රටට සත්‍ය හෙළිදරව් කළ යුතු බවත් රජය මේ මහමොළකරුවා සම්බන්ධයෙන් ගන්නා තීරණය කුමක්ද කියා රටට හෙළිදරව් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කෑගල්ල අරනායක ශ්‍රී හේවාසිංහාරාමයේදී පූජ්‍ය විලානගම චන්ද්‍රරතන හිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.