මේවනවිට රජයේ ප්‍රතිපත්තීන්ට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 07ක ක්‍රියාත්මකයි : GMOA

රෂිකා හෙන්නායක මාර්තු 02, කොළඹ LNW :

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සෞඛ්‍ය අමාත්‍යාංශයේ “ආරෝග්‍යා” ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම වැඩසටහනේ විනිවිදභාවය සහ අරමුණු පිළිබඳව පවතින ගැටලුකාරී ස්වභාවය හේතුවෙන් වෛද්‍යවරුන් මෙම දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇත.

නිසි ශක්‍යතා අධ්‍යයනයක් නොමැති වීම සහ මෙය දේශපාලන වුවමනාවන් මත ක්‍රියාත්මක වන්නක් බවට සංගමය සැක පළ කරයි.

ක්ෂේත්‍රයේ පවතින සැබෑ සෞඛ්‍ය ගැටලු විසඳීමට රජය අපොහොසත් වී ඇති බව පවසන ඔවුහු, මෙම ව්‍යාපෘතිය අනවශ්‍ය සම්පත් නාස්තියක් ලෙස හඳුන්වති.

මේ වන විට එම සංගමය රජයේ ප්‍රතිපත්තීන්ට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හතක නියැලී සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.

 වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්..

‘මේ ආරෝග්‍යා ව්‍යාපෘතිය කියන්නේ මොකද්ද? මේකේ පිටිපස්සේ තියෙන අරමුණ මොකද්ද කියලවත් අපි දැනුවත් වෙලා නෑ. සක්‍යතා අධ්‍යනයක් කරලා තියෙනවද මේ ආරෝග්‍යා ව්‍යාපෘතියට. මේක කාගේ අවසරයකින් ද කරන්නේ කවුද මේකේ පිටිපස්සේ ඉන්නේ. රටේ සෞඛ්‍ය සේවාව ඇතුළේ දැවැන්ත ප්‍රශ්න ගණනාවක් තියෙද්දී ප්‍රශ්නයක් නැති තැන්වලට, එක වගේ දෙක දෙක වැඩ කරන්න පටන් අරන් තියෙනවා. අපිට සාදාරණ සැකයක් තියෙනවා මේක දේශපාලන අරමුණකින් කරන වැඩක් කියලා. වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍යයේ තියෙන ප්‍රශ්න විසඳන්නේ නෑ කියලා සාක්ෂාත් කරලා පෙන්නලා ප්‍රශ්න නැති තැන්වල වවාගෙන කෑමක් කරන්නේ. ඒ නිසා කිසිම දෙයක් නොදන්න, දේශපාලන මුහුණුවරක් ගත්ත මේ වගේ වැඩකටයුත්තකට සහභාගී නොවී ඉන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කරලා තියෙනවා”