මේ එන පීඩනය අපේ කර්මාන්තකරුවන්ට සහ පාරිභෝගිකයින්ට දරාගන්න අමාරුයි – ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති

රෂිකා හෙන්නායක මාර්තු 16, කොළඹ LNW :

ගෝලීය දේශපාලනික අර්බුද හමුවේ දේශීය ඉන්ධන සැපයුම සුරක්ෂිත කර ගැනීමේ වැදගත්කම පිළිබඳ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් උවයිස් මහතා අවධාරණය කරන්නේ , විශේෂයෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය වැනි ප්‍රධාන නාවික මාර්ග අවහිර වීමෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවයි.

මෙම පීඩනයෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා රජය මැදිහත් වී ඉන්ධන බදු අඩු කළ යුතු බවත්, එමඟින් මිල ස්ථාවරව පවත්වා ගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

සැපයුම් ජාලය බිඳවැටීම වැළැක්වීමට නම් සැපයුම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වා ගැනීම සහ නිසි තොග කළමනාකරණය අත්‍යවශ්‍ය වේ. ජාත්‍යන්තර බලපෑම් හමුවේ දේශීය කර්මාන්තකරුවන් රැක ගැනීමට නවීන උපක්‍රමශීලී වැඩපිළිවෙළක අවශ්‍යතාවයද ඒ මහතා පෙන්වා දෙයි.

මේ ප්‍රශ්නය ගත්තොතින් ලංකාව 100%ක් ම ඛනිජ තෙල් ආනයනය කරන රටක්. අපි දැනටම රුපියල් 25ක් සියලු තෙල්වලට මිල වැඩිකළා. මේ යන යෑමට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල තවත් වැඩි වීමට නියමිතයි. රටක් ලෙස අපි මේ වෙලාවේ දෙකක් කළ යුතුයි. එකක් අපේ සැපයුම නිසියාකාරව කළමනාකරණය කර ගැනීම සහ සැපයුම්කරුවන් එක්ක නිසි සම්බන්ධතාවෙන් යුතුව වැඩ කළ යුතුයි. ඊට අමතරව මේ එන පීඩනය අපේ කර්මාන්තකරුවන්ට සහ පාරිභෝගිකයින්ට දරාගන්න අමාරුයි. මේ මොහොතේ තමයි රජය කරන්න ඕනේ මැදිහත් වෙලා බදු අඩුකරලා ජනතාව මත සම්පූර්ණ පීඩනය පටවන්නේ නැතිව ජනතාවගෙන් කොටසක් සහනාධාරයක් ලෙස බදු අඩුකරලා ඉන්ධන මිල පුළුවන් තරම් උච්ඡාවඡනය නොවන ආකාරයට තියාගත යුතුයි කියන එක තමයි මගේ මතය. අපි සියලු දෙනාම දන්නවා හෝමූස් සමුද්‍ර සන්ධිය වහලා තියෙනවා. ඊට අමතරව තව සමුද්‍ර සන්ධියක් තියෙනවා යෙමනය සහ අප්‍රිකානු මහද්වීපය අතර එතනින් 12%ක් විතර තෙල් ගමනාගමනය සිදුවෙනවා. ඉරානය තවත් සන්නද්ධ කොටසක් ඒ මාර්ගයත් අවහිර කරයි එහෙම කළොතින් මේ දෙකම වැහුවොත් 35%ක් විතර තෙල් ගමනාගමනය අඩපණ වෙනවා එහෙම වුණොත් ලොකු පීඩනයක් අපේ රටවල්වලට ඇතිවෙනවා ඒ හින්දා මේ මොහොතෙදි අපි විවිධ නවීන උපක්‍රම යොදාගෙන සැපයුම් ජාලයට බලපෑමක් ඇති නොවන විදිහට කටයුතු කරගත යුතුයි." ලෙස කියා සිටියේය.