මාර්තු 17, කොළඹ LNW :
2022 වර්ෂයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉන්ධන අර්බුධය නිසා විදුලි නිෂ්පාදනය ප්‍රවාහන සෞඛ්‍ය හා කර්මාන්ත ක්ෂේත්‍ර බරපතල ලෙස කඩා වැටී දරුණු ආර්ථික අර්බුධයක් නිර්මාණය වූ බවත් වර්තමානයේ මැදපෙරදිග කලායේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය නිසා ලංකාවේ ඇතිව තිබෙන ඉන්ධන අර්බුධය තුළ පසුගිය අර්බුධකාරි අවස්ථාවෙන් පාඩම් ඉගෙන ගෙන ඇත් ද කියා විමසිය යුතු බවත් රටේ බලශක්ති ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් රජයට යොමු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.
මැදපෙරදිග කලාපයේ මතුව තිබෙන ගැටුම්කාරී තත්ත්වය නිසා බොරතෙල්, ඉන්ධන හා ගෑස් ආනයනයේදී ඇතිවිය හැකි අවදානම ගැන රජය අවදානම් තක්සේරුවක් ඉදිරිපත් කර ඇත් ද කියා දැනගැනීමට අවශ්‍ය බවත් මීට පෙර පාර්ලිමේන්තු දිනක හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ඇතිවන අන්තරාදායක තත්ත්වය ගැන විමසන විට රජය කියුවේ අප රටට බලපෑමක් නොමැති බවත් පිරිපහදු තෙල් බොරතෙල් ගෑස් ආදිය මෙන්ම පොහොර රසායන ද්‍රව්‍ය ආදී අපනයන භාන්ඩ රැසකට අවදානමක් ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
තෙල් මත පනවා ඇති බදු ඉවත් කරන්න
වර්තමානයේ රටේ පවතින තෙල් සංචිත ප්‍රමාණයත් එය කොපමණ දිනකට ප්‍රමාණවත්ද කියා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා කියූ ආකාරයට නම් මාස දෙකකට ආසන්න ප්‍රමාණයකට තෙල් ඇති බව පවසා දින 7කට පසු තෙල් මිල වැඩි කළ බවත් අප රටේ මේ වන විට ඇති ඉන්ධන සංචිත ප්‍රමාණය එබැවින් ඉදිරිපත් කරන ලෙසත් රටට සත්‍ය තොරතුරු ඉදිරිපත් කළ යුතු බවත් හදිසි අවස්ථා සඳහා භාවිත කළ හැකි තෙල් සංචිත තිබේ නම් ඒවා ද ඉදිරිපත් කරන ලෙසත් මේ අවස්ථාවේ හෝ තෙල් මත ඇති වැට් බදු ආදී බදු ඉවත් කර කියූ ආකාරයට වරායේ ගොඩබාන මිලට මේ අවස්ථාවේ තෙල් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අවස්ථාවේ සියලුම අමාත්‍යාංශ එකට එකතුවී කටයුතු කළ යුතුයි
ගෝලීය තෙල් සැපයුමට බාධා වීමෙන් හෝ මිල ගණන් ඉහළ යන අවස්ථාවේ මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට බලශක්ති අමාත්‍යාංශයේ ඇති සැලසුම් ඉදිරිපත් කරන ලෙසත් ගෝලීය වෙළෙදපොළ තෙල් මිල 20-30% අතර ප්‍රමාණයෙන් ඉහළ ගියහොත් ඉන්ධන ආනයන වියදම් මෙන්ම ජාතික ආර්ථිකයටත් උද්ධමනයටත් ඇති කළ හැකි බලපෑම් ගැන බලක්ති අමාත්‍යාංශය ගණනය කර ඇත් නම් එය ඉදිරිපත් කරන ලෙසත් මේ අවස්ථාවේ සියලු අමාත්‍යාංශ එකට එකතු වී කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
විකල්ප බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරන්න
මැදපෙරදිග කලාපය ආශ්‍රිත ජාත්‍යන්තර සමුද්‍රීය මාර්ගයට බලපෑම් සිදුවීම නිසා මෙරට ඉන්ධන සැපයුමට වන බලපෑම නිසා විකල්ප බලශක්තිය ප්‍රභව යොදා ගැනිමට රජය තීරණය කර ඇත්නම් එම තක්සේරු ඉදිරිපත් කරන ලෙසත් ඉරානයේ තෙල් පිරිපහදුවලට ප්‍රහාරයක් එල්ල වුවහොත් මහා ඛේදවාචකයක් නිර්මාණය වන බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අප රටට වන බලපෑම සම්බන්ධයෙන් රජය තක්සේරුවක් හෝ අධ්‍යයනයක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
QR කේතයේ ගැටලු රැසක් පවතිනවා
2026.03.15 සි යළි QR කේත පදනම් කර ගත් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමය යටතේ නියම කර ඇති සතිපතා ඉන්ධන කෝටාව හදුන්වා දී ඇති පදනමත් මේ කෝටාව එදිනෙදා පරිභෝජනයට ප්‍රමාණවත් නොවන නිසා මෙය සංශෝධනය කළ යුතු බවත් වාහන විකිනීම නිසා හිමිකරුවන් මාරු වීම නිසා QR කේත ලබා ගැනිමට නොහැකි විශාල පිරිසක් ඇති බවත් අද වන විට බොහෝ පිරිසක් මේ ගැටලුවෙන් පිඩාවට පත්වන බවත් දැනට වෙන් කර ඇති ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට ජනතාව කියන නිසා මෙය වෙනස් කිරීමට කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමහර වෘත්තීන්ට වෙන් කර ඇති තෙල් කෝටාව ප්‍රමාණවත් නැ
මේ කාලයේ ගොවියා අස්වනු නෙළන බවත් ධීවරයන්ට මෙන්ම අත්‍යාවශ්‍ය සේවාවල නියැලී ඇති අයට පවා මේ ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ඉන්ධන සැපයුම සීමා වී ඇති මොහොතේ විදුලි නිෂ්පාදනය ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවලට අදාළව ඉන්ධන වෙන් කිරිම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් අප රටට වැදගත් විදේශ විනිමය ගෙන එන සංචාරක ක්ෂේත්‍රයට ද විසදුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඇයි රුසියාවෙන් තෙල් මිල දී ගන්නේ නැත්තේ
ඇමෙරිකාව රුසියාවට තෙල් සම්බන්ධයෙන් පනවා ඇති සම්බාධක දින 30කට නතර කිරීම නිසා රුසියාවෙන් අප රටට බොරතෙල් ලබා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළකට රජය නොයන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් මේ කාලයේ තෙල් ලබා ගන්න රුසියාව සමග සාකච්ඡා කළේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් දින කිහිපයකට පෙර International energy agency විසින් තෙල් බැරල් මිලියන 400ක් වෙළෙදපොළට නිකුත් කිරිමට එකගතා පළ කර ඇති නිසා ඉදිරි තෙල්මිල දී ගැනීමේ ගිවිසුම්වලට යාමට අප රජය ද කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අප රටට ක්‍රමෝපායික සැලසුමක් තිබිය යුතුයි
පෙර සූදානම ක්‍රමෝපායික සැලසුම් සකස් කිරීම ආදී සැලසුම් අප රටට තිබිය යුතු බවත් මේ යුදමය තත්ත්වය පටන් ගත්තේ මීට මාස ගණනාවකට පෙර නිසා මේ සම්බන්ධයෙන් අපට පුරෝකථනයකට යා යුතුව තිබු බවත් බලශක්ති සුරක්ෂිතභාවය ගැන කතා කරන විට අප රටේ විදුලි උත්පාදනය කරන බලාගාරවලින් නිශ්චිත විදුලිය උත්පාදනය නොවන විට ඩීසල් බලාගාරවලට යා යුතු බවත් මෙහි දී විදුලි බිල වැඩි වීමත් තෙල් හිගය නිසාත් ගැටලු රැසක් මතුවන බවත් මේ නිසා විදුලි කප්පාදුවලට යාමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැනටමත් විදුලි කප්පාදුවක් ගැන පෙර නිමිති එනවා
මාර්තු 13 නොරොච්චෝල බලාගාරයේ විදුලි නිෂ්පාදනය මෙගාවොට් 130කින් ද 14 වැනිදා 135කින් ද 15 වැනිදා 132කින් ද 16 වැනිදා පවා මෙගවොට් 148කින් අඩු බවත් මේ අඩුවූ ප්‍රමාණය අනිවාර්යෙන්ම ඩීසල් බලාගාරවලින් ලබා ගැනීමට සිදුවන නිසා මේ තෙල් හිගතාව නිසා බරපතල ගැටලුවක් මතුවන බවත් අප්‍රේල් ජුනි ජූලිවල පවා විදුලිය කප්පාදුවන නිසා මේ අවදානම් තත්ත්වයට විසදුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



