රෂිකා හෙන්නායක මාර්තු 31 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ හුදෙකලා ඉසව්වක පිහිටි පෝපන්කා (Porepunkah) නගරය ගැන මීට මාස හතකට පෙර එරට වැසියන් පවා දැන සිටියේ අල්ප වශයෙනි.
දහසකට මඳක් වැඩි ජනගහනයක් වෙසෙන මෙම නිසල නගරය, පසුගිය අගෝස්තු මාසයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සාහසික ලෙස ඝාතනය වීමත් සමඟ ලෝකයේම අවධානයට ලක්විය. මාස හතක් පුරා ඇදී ගිය, ඕස්ට්‍රේලියානු පොලිස් ඉතිහාසයේ දැවැන්තම මනුෂ්‍ය දඩයම පසුගියදා අවසන් වූයේ සැකකරු වූ ඩෙසී ෆ්රීමන් (Dezi Freeman) පොලිස් වෙඩි පහරින් මියයාමත් සමඟිනි. මෙම අවසාන ගැටුම සිදුවූයේ පෝපන්කා නගරයේ සිට පැය දෙකක පමණ ධාවන දුරකින් පිහිටි උතුරු දෙසට වන්නට වූ ප්‍රදේශයක වුවද, එහි ප්රතිරාවය තවමත් පෝපන්කා වැසියන්ගේ හදවත් තුළ තදින්ම රැඳී පවතී.
මෙම ඛේදවාචකයේ ඇති වඩාත්ම සංවේදී පැතිකඩ වන්නේ, මියගිය පොලිස් නිලධාරීන් වූ නීල් තොම්සන් (Neal Thompson) සහ වඩීම් ද වාර්ට් (Vadim de Waart) මෙන්ම ඩෙසී ෆ්රීමන්ගේ පවුලේ සාමාජිකයන් ද එකම ඉතා කුඩා, සමීප ප්‍රජාවක සාමාජිකයන් වීමයි. ලෝකයාට ඩෙසී ෆ්රීමන් යනු “පොලිස් මිනීමරුවෙකු” වුවද, ඔහුගේ පවුලේ අයට ඔහු තමන් ආදරය කළ සමීපතමයා විය. ෆ්රීමන්ගේ වැඩිමහල් පුත් කෝවා (Koah), සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සංවේදී සටහනකින් තම පියාගේ මරණය සැමරීමට උත්සාහ කරන පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටියේ තම පවුලේ වේදනාව දෙස මානුෂීයව බලන ලෙසයි.

"මම මෙතන ඉන්නේ මගේ පියාගේ ක්‍රියාවන් සාධාරණීකරණය කරන්න නෙවෙයි, මොකද ඔහු කළේ වැරැද්දක් බව මම දන්නවා. නමුත් මතක තබා ගන්න, ඔබට ඔහු 'පොලිස් මිනීමරුවෙකු' වුවද, මට ඔහු තවමත් මාව හදා වඩා ගත් පියායි. මම ඔබ පවසන දේවල් දෙස බලා සිටින බවත්, ඒවා මට දැනෙන්නේ කෙසේදැයි ඔබ වටහා ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි."
අපරාධකරුවෙකුගේ පවුල මුහුණ දෙන මෙම සමාජීය පීඩනය සහ පියෙකු අහිමි වූ දරුවෙකුගේ ශෝකය, අපරාධයක සාහසිකත්වයට එහා ගිය මානුෂීය ඛේදවාචකයක් බව අප වටහා ගත යුතුය.
මාධ්‍ය ආලෝකයෙන් “විනාශ වූ” නිස්කලංක නගරය
දීර්ඝ මනුෂ්‍ය දඩයම අතරතුර පෝපන්කා නගරය ලෝක මාධ්‍යයේ "සිරස්තලයක්" බවට පත්විය. එක් වැසියෙකු ප්‍රකාශ කළේ මාධ්‍ය මගින් එල්ල වූ අනවශ්‍ය පීඩනය නිසා නගරයේ තිබූ නිස්කලංක බව "විනාශ වූ" බවයි. ප්‍රදේශයේ වාණිජ මණ්ඩල සභාපති මාකස් වෝනර් (Marcus Warner) පවසන්නේ, මෙම පුවත සැලවූ මොහොතේ සිට මුළු නගරය පුරාම විශාල ශෝකී රැල්ලක් පැතිර ගිය බවයි.
දැන් එම බර උසුලා සිටි කාලය අවසන් වී ඇත. වෝනර් එය විස්තර කරන්නේ “කර මතින් විශාල බරක් ඉවත් කළාක් වැනි” (lifting of a weight) සහනයක් ලෙසයි. වැසියන්ට දැන් නැවතත් “නිදහසේ හුස්ම ගැනීමට” හැකි බව හැඟුණද, මානසිකව සහ සාමාජීයව සිදුවූ හානිය සුවපත් වීමට තවත් දීර්ඝ කාලයක් ගතවනු ඇත.
මෙම මාස හතක කාලය පෝපන්කා වැසියන්ට මනෝවිද්‍යාත්මකව මෙන්ම ආර්ථික වශයෙන් ද දැඩි බලපෑම් එල්ල කළේය. විශේෂයෙන්ම ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය වූ සංචාරක කර්මාන්තය අඩාල විය. මාකස් වෝනර් පෙන්වා දෙන පරිදි, සිදුවූ මූල්‍යමය පාඩු කිසිදා පියවා ගත නොහැකි වුවද, ප්‍රජාවක් ලෙස එකිනෙකාට සහය වෙමින් ඉදිරියට යාම දැන් අත්‍යවශ්‍ය වේ.
අසල්වැසි බ්‍රයිට් (Bright) නගරයේ ව්‍යාපාරිකයෙකු වන බැලින් ෆෝලි (Balin Foley) පවසන්නේ, මිනිසුන් මෙම සිදුවීම තවත් කාලයක් මතක තබා ගනු ඇති බවයි. කෙසේ වෙතත්, නගරයේ පවතින යහපත් දේවල් සහ ශක්තිමත් ප්‍රජා බැඳීම් මගින් මෙම අමිහිරි මතකය ක්‍රමයෙන් යටපත් වනු ඇතැයි ඔහු සුභවාදීව විශ්වාස කරයි.
මෙම සිදුවීම විමර්ශනය කිරීමේදී පෙනී යන තවත් කරුණක් නම්, මාධ්‍ය මගින් නගරය පිළිබඳව මැවූ වැරදි චිත්රයයි. නගරය තුළ "කුමන්ත්‍රණ මතවාදීන්" (conspiracy theorists) සහ රජයේ නීති ප්‍රතික්ෂේප කරන "ස්වෛරී පුරවැසි" (sovereign citizen) සංකල්ප දරන්නන් බහුල බවට මාධ්‍ය වාර්තා පළ විය.
එහෙත් මාකස් වෝනර් මෙය ගවේෂණාත්මකව ප්‍රතික්ෂේප කරයි. ඔහු පවසන පරිදි, අන්තගාමී අදහස් දරන්නන් සිටින්නේ මුළු ජනගහනයෙන් අතලොස්සක් වැනි ඉතා සුළු පිරිසක් පමණි. මාධ්‍ය මගින් එම සුළු පිරිස පෙන්වමින් මුළු නගරයම ලේබල් කිරීමට උත්සාහ කළද, සැබෑ පෝපන්කා වැසියන් පසුවන්නේ ඉතාමත් සහයෝගයෙන් සහ සාමූහික හැඟීමකිනි. අන්තර්ජාලයේ පවතින රාවයන් සහ නගරයේ සැබෑ ස්වභාවය අතර ඇත්තේ අහසට පොළොව මෙන් වෙනසක් බව ඔහු අවධාරණය කරයි.

සතුටත් වේදනාවත් මුසු වූ සහනය
ඩෙසී ෆ්රීමන්ගේ මරණයත් සමඟ නීතිය හමුවේ යුක්තිය ඉටු වුවද, එය කිසිවෙකුට “සතුටුදායක කතාවක්” නොවේ. මියගිය නිලධාරියෙකු වූ වඩීම් ද වාර්ට්ගේ මිතුරෙකු වූ පීටර් ඩී’මෙලෝ පවසන්නේ මෙය “සතුටත් වේදනාවත් මුසු වූ” (bittersweet) හැඟීමක් බවයි. අනෙක් නිලධාරියා වූ නීල් තොම්සන්ගේ මිතුරු ජෝන් බර්ඩ් පවසන්නේ, මෙමඟින් යම් අවසානයක් සනිටුහන් වුවද, එය තොම්සන්ව (“Thommo”) නැවත ගෙන්වා ගැනීමට සමත් නොවන බවයි.
ෆ්රීමන්ගේ අසල්වැසියෙකු වූ රිචඩ් පවසන පරිදි, මෙම මරණය නිසා ඔවුන්ට දැන් “බියෙන් තොරව රාත්‍රිය ගත කළ හැකි” වුවද, “මෙය කිසිසේත්ම සතුටු විය හැකි අවසානයක් නොවේ.” යුක්තිය ඉටු වුවද, දෙපාර්ශවයටම ඉතිරිව ඇත්තේ පිරවිය නොහැකි හිස්තැනකි.
පෝපන්කා නගරය දැන් සුවපත් වීමේ මාවතට පිවිස ඇත. එහෙත් මෙවැනි සිදුවීමකින් පසු ප්‍රජාවක් යථා තත්ත්වයට පත්වීමට දීර්ඝ කාලයක් ගතවනු ඇත. ඩෙසී ෆ්රීමන්ගේ ක්‍රියාවන් මුළු නගරයටම කළු පැල්ලමක් එක් කළද, එම වැසියන් දැන් උත්සාහ කරන්නේ එකිනෙකාට අත්වැලක් වෙමින් නැවත නැගී සිටීමටයි.





