දුක්විදින ජනතාවට සහන පැකේජයක් ලබා දෙන්න විපක්ෂයේ අපි ඊට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නම් – විපක්ෂ නායක සජිත්

මාර්තු 31, කොළඹ LNW : වත්මන් යුදමය තත්ත්වය තුළ අප ර‌‌ටේ ආර්ථිකය දැවැන්ත අසීරුතා රැසකට මුහුණ දෙන්න සිදුව ඇති බවත් තෙල් මිල වැඩි වීම තුළ සමස්ත ආදායම් මාර්ග පලුදු වී කර්මාන්ත කඩා වැටී නිෂ්පාදන හා සේවා ක්‍රියාවලී පවා අඩපණ වී ඇති බවත් බාල ගල් අගුරු යෙදවීම තුළ රට තුළ බලශක්ති සුරක්ෂිතභාවට මරු පහරක් පවා එල්ල වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඊයේ දිනයේ මෙගවොට් 147ක් අඩුවෙන් නොරොච්චෝල බලාගාරයේ විදුලිය උත්පාදනය කර ඇති බවත් ඒ අතරතුර තෙල් මිල, විදුලි බිල වැඩි වී ජිවන බර සහ උද්ධමනය ඉහළ යාම නිසා සමස්ත නිෂ්පාදන චක්‍රයට ජන ජිවිතයට ජීවනෝපායන්ට ආදායම් මාර්ගවලට දැවැන්ත ලෙස බලපෑම් එල්ල වී ඇති බවත් මේ නිසා රටේ ජනතාව මර උගුලකට හසුවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

එබැවින් තෙල් මිල, විදුලි බිල ආදිය පහත දැමිය යුතු බවත් ඒ සඳහා රජය ඉතිරි කර ගත්තා යැයි කියන මූල්‍ය සංචිත ආදිය උපයෝගී කර ගත යුතු බවත් දැන්වත් ජනතාවට ජිවත් වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර සහන පැකේජය ජනතාව ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රජය බලයට පැමිණියේ IMF කොන්දේසි සුරක්ෂා කරන්න නොව IMF ගිවිසුම අලුත් කර නවීකරණය කර ජනහිතකාමී ජනතවාදී ජනතාවට පක්ෂපාතී විධිවිධාන යොදවා IMF ගිවිසුම මානුෂීය කරණය කිරිමට බවත් එය රජයේ සමාජ වගකීම සහ සමාජ ගිවිසුම බවත් රටේ ජනතාව සමඟ රජය ඇති කර ගත් සමාජ ගිවිසුමක් හා සම්මුතියක් ඇති නිසා බිය නොවී IMF එක සමග සාකච්ඡා කර තෙල් මිල ඉන්ධන මිල හා විදුලි බිල අඩු කර සහන පැකේජයක් ලබා දීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රජයේ මේ ඉබි ගමන හේතුවෙන් මේ වන විට රටේ බෙහෙත් හිඟයක් ඇතිව තිබෙන බවත් ඊට අමතරව අමුද්‍රව්‍ය පොහොර තෙල් හිගයක් ඇතිව විදුලි බල ක්ෂේත්‍රයේ අනාරක්ෂිතභාවයක් නිර්මාණය වී විදුලි කප්පාදුවක් පවා සිදුවිය හැකි බවත් ගොවියා ධීවරයාගේ සිට සෑම ක්ෂේත්‍රයකම ජනතාව දැවැන්ත පීඩනයකට නතුව ඇති බවත් මේ පාර්ශ්වයන් රටට ආදායම් උත්පාදනය කරන නිසා සමස්ත රටම තවදුරටත් උග්‍ර පීඩනයකට අසහනයකට කම්පනයකට ලක් නොකර මොවුන්ට සහන ලබා දිය යුතු බවත් දැන්වත් නින්දෙන් අවදි වී IMF එක සමග සාකච්ඡා කර කඩිනම් සහන පැකේජයක් හඳුන්වා දිය යුතු බවත් තෙල් මිල අඩු කිරීමටත් විදුලි බිල අඩු කිරීමටත් රජය කටයුතු කළ යුතු බවත් ඒ වෙනුවෙන් විපක්ෂය උපරිම සහයෝගය ලබා දෙ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.