රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව නැවත වරක් සංවාදයක් ගොඩනැගෙමින් පවතී. 2026 වසරේ මුල් භාගයේ තොරතුරු වලට අනුව පෙනී යන්නේ, අප හමුවේ නව අභියෝග රැසක් මතු වෙමින් පවතින බවයි. විශේෂයෙන්ම 2026 පෙබරවාරි මාසය වන විට ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ අතිරික්තය (Current Account Surplus) 68% කින් විශාල ලෙස අඩු වී තිබේ. මෙම පහත වැටීම පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙන්ම 2026 ජනවාරි මාසයට සාපේක්ෂවද එකලෙස වාර්තා වීම විශේෂත්වයකි.
වෙළඳ හිඟය 88% කින් ඉහළ යාම: අපනයන පරදා ආනයන රේස් එක දිනයි
පෙබරවාරි මාසයේ වාර්තා වූ වඩාත්ම කනස්සලු සහගත කරුණ වන්නේ වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 776 දක්වා 88% කින් ඉහළ යාමයි. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අපනයන වර්ධනයට වඩා ආනයන වර්ධනය ඉතා වේගවත් වීමයි.
- අපනයන වර්ධනය: 0.5% ක සුළු ප්‍රමාණයක් පමණි (ඩොලර් බිලියන 1.05).
- ආනයන වර්ධනය: 25.2% ක විශාල වැඩිවීමකි (ඩොලර් බිලියන 1.83).
මෙහි දැකිය හැකි වඩාත්ම තීරණාත්මක කරුණ වන්නේ අපේ වෙළඳ කොන්දේසි (Terms of Trade) පිරිහීමට ලක්ව තිබීමයි. ආනයනික භාණ්ඩවල මිල අඩු වීමට වඩා වේගයෙන් අපනයන භාණ්ඩවල මිල ගෝලීය වෙළඳපොළේ පහත වැටීම මෙයට හේතුවී ඇත. මේ නිසා අපනයන පරිමාවන් වැඩි වුවද, රටට ලැබෙන සැබෑ විදේශ විනිමය ආදායම පීඩනයට ලක්ව තිබේ.
මැදපෙරදිග අර්බුදයේ කළු හෙවණැල්ල
2026 පෙබරවාරි 28 වන දින ආරම්භ වූ මැදපෙරදිග යුද්ධය ශ්‍රී ලංකාවේ බලශක්ති සහ සැපයුම් දාමයන්ට සෘජු බලපෑමක් එල්ල කර තිබේ. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම නිසා දේශීය ඉන්ධන පිරිවැය ඉහළ ගොස් ඇති අතර, එය ප්‍රවාහනය, ලොජිස්ටික්ස් සහ ආහාර බෙදාහැරීමේ පිරිවැය හරහා උද්ධමනය ඉහළ නැංවීමට හේතු වී ඇත.
මධ්‍යම බැංකුව මෙම තත්ත්වය පිළිබඳව මෙසේ සඳහන් කරයි:
"As of end-March 2026, the year-to-date (YTD) depreciation of the Sri Lanka rupee against the US dollar was 1.6%, reflecting the emergence of external sector pressures following the onset of the Middle East conflict in late February 2026."
මෙහිදී අප වටහාගත යුත්තේ පෙබරවාරි දත්තවලට වඩා මාර්තු අවසානය වන විට රුපියල 1.6% කින් අවප්‍රමාණය වීම හරහා පෙනී යන්නේ මැදපෙරදිග අර්බුදයත් සමඟ විදේශීය අංශය මත ඇති වූ ක්ෂණික පීඩනයයි.
සංචාරක ක්ෂේත්‍රය තුළ අපූරු පරස්පර විරෝධයක් දැකගත හැකිය. පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 16.3% කින් ඉහළ ගියද, එම ක්ෂේත්‍රයෙන් ලැබුණු ඇස්තමේන්තුගත ආදායම 4.2% කින් අඩු වී ඩොලර් මිලියන 352 ක් දක්වා පහත වැටී ඇත.
මෙයට හේතුව සංචාරකයින්ගේ වියදම් රටාවන් වෙනස් වීම සහ මැදපෙරදිග අර්බුදය නිසා ඇති වූ ගුවන් ගමන් අවලංගු වීම් සහ ගාස්තු ඉහළ යාමයි. මෙම තත්ත්වය දිගටම පැවතුණහොත්, මසකට ඩොලර් මිලියන 80-100 අතර අලාභයක් සංචාරක ක්ෂේත්‍රයට සිදුවිය හැකි බවට ගණන් බලා ඇත.
විදේශ ප්‍රේෂණ: ආර්ථිකයේ ජීවනාලිය
වත්මන් ආර්ථික වාර්තාවල ඇති ධනාත්මකම පුවත වන්නේ විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් එවන ප්‍රේෂණයි. පෙබරවාරි මාසයේදී විදේශ ප්‍රේෂණ 33% කින් වර්ධනය වී ඩොලර් මිලියන 729 ක් දක්වා ඉහළ ගොස් ඇත. 2025 වසරේ වාර්තාගත ඩොලර් බිලියන 8.08 ක ප්‍රේෂණ ලැබුණු අතර, එම ශක්තිමත් ප්‍රවණතාවය තවදුරටත් ඉදිරියට ගලා යාම ආර්ථිකයට විශාල ශක්තියකි. මැදපෙරදිග ශ්‍රම වෙළඳපොළ (Labour Markets) සහ ආහාර මිල කෙරෙහි පවතින අවදානම හමුවේ වුවද මෙම වර්ධනය පවත්වා ගැනීම ඉතා තීරණාත්මක වේ.
වාහන ආනයනයේ අමුතු පසුබෑම
සමස්ත ආනයන වියදම් ඉහළ ගියද, වාහන ආනයනය සඳහා වැය කරන මුදල පිට පිට දෙවන මාසයටත් අඩු වී තිබීම විශේෂත්වයකි:
- 2025 දෙසැම්බර්: ඩොලර් මිලියන 301
- 2026 ජනවාරි: ඩොලර් මිලියන 224
- 2026 පෙබරවාරි: ඩොලර් මිලියන 194
සමස්තයක් ලෙස 2026 පළමු මාස දෙක තුළ වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 418 ක් වැය වී ඇත.
අපගේ සේවා අපනයන අංශය ද යම් පසුබෑමකට ලක්ව ඇති බව දත්ත පෙන්වා දෙයි. 2026 පෙබරවාරි මාසයේදී:
- තාක්ෂණික සේවා අපනයන ආදායම 20% කින් අඩු වී ඩොලර් මිලියන 50 ක් විය.
- ලොජිස්ටික්ස් ආදායම 26.8% කින් අඩු වී ඩොලර් මිලියන 123.7 ක් විය.
ගෝලීය වශයෙන් පවතින අස්ථාවර තත්ත්වයන් සහ නාවික ගමන් බාධා කිරීම් මෙම සේවා අංශයන්ට සෘජුවම බලපා ඇති බව පෙනේ.
ජංගම ගිණුමේ අතිරික්තය සැලකිය යුතු ලෙස අඩු වුවද, ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව සතු නිල සංචිත ප්‍රමාණය 2026 පෙබරවාරි අවසානය වන විට ඩොලර් බිලියන 7.3 ක් ලෙස ශක්තිමත්ව පවතී. මෙය විදේශ ණය සේවාකරණය මධ්‍යයේ වුවද මධ්‍යම බැංකුව විසින් විදේශ විනිමය මිලදී ගැනීම හරහා පවත්වාගෙන ගිය මට්ටමකි.



