මිතුරු සුළඟ දිගේ උතුරෙන් පැමිණි වික්‍රමය සෙන්ට් මේරිස් චැම්පියන් කුසලානය යාපනයට ගෙන යයි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 05, කොළඹ LNW:

පුවත අසන්න මෙතැනින්..

උතුර සමඟ දකුණ තිබුණ විරසකය වසර තිහකට පසු නැවතිණ.ඉනික්බිති උතුරේ ක්‍රීඩාවට අලුතින් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට අවස්ථාව උදා විය.යුද සමයේත් නෙට්බෝල් ක්‍රීඩිකා තර්ජණී සිවලිංගම් රට වෙනුවෙන් සටන් වැද ලොව ඉදරියේ ලාංකිකයෙකු සේ එකට උන්නාය.ඒත් යුද්ධයෙන් ඉනික්බිති උතුරේ ක්‍රීඩාවට විවර වූ දොරගුළු අතරින් ශ්‍රී ලංකාව නියෝජනයට ඉස්සර වූයේ පාපන්දු ය.එය එක් අයෙකු දෙන්නෙකු සතුව පැවති හැකියාවක් නොවන බවට සහතික කරමින් පළමු වරට ජාතික සූරතාවයක් ක්‍රීඩාවකින් උතුරට අරගෙන යන්නට ද පාපන්දුවට හැකි විය.ඒ ප්‍රබල සෝන්ඩර්ස් කණ්ඩායම පෙනල්ටි පහරවලින් පරාජය කරමින්ය.

චැම්පියන්ස් ප්‍රතිමළුන් පිටු දැකීමේ පාපන්දු තරගාවලියේ සූරයන් වූයේ යාපනය ශාන්ත මේරී කණ්ඩායමය.සිංහලෙන් එසේ පරිවර්ථනය කොට කීව ද ක්‍රීඩාවේදී ශාන්ත වෙනුවට සෙන්ට්ම යොදා කියන්නේනම් එය හදට දැනෙන්නේය.ඒ හදට දැනෙන ගෝල පහර එල්ල වීමට වඩා සෙන්ට් මේරිස් හී ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වූයේ පහර වළක්වා ගැනීමේ හැකියාවය.එහිදී එස්.ආර්නික්කන් ගෝල රැකීමෙන් දැක් වූ එම දස්කමට වඩා පෙනල්ටි ප්‍රහාරයන් හී දී සිය ඉලක්කයද සාර්ථක කර ගැනීමට සමත් වෙමින් ගෝලයක් ද ලබා ගත්තේය.

තරගය ආරම්භ වී මුල් විනාඩි 05 ගෙවෙද්දී දෙපිළම ගොල් වාර්තා කර අවසන්ය.තෙවන විනාඩියේදී පළමු ගෝලය ලබා ගත්තේ සෙන්ට් මේරී කණ්ඩායම වෙනුවෙන් ඩන්ජුම් ගම්භාරි ය.පස්වන විනාඩියේදී ඊට පිළිුතුරු ලෙස සෝන්ඩර්ස් හී ගෝලය වාර්තා කරනු ලැබුවේ මොහොමඩ් අසීෆ් ය.පිටය මැද මෙන්ම පිටියෙන් පිටත ද ඕනෑවටත් වැඩියෙන් තිගැස්මානුකූලව ගැහෙන හදවත් තිබිණ.නිවැරදිම මොහොතේ නිවැරදිම තීරණය ගැනීමට තරම් ඒ තිගැස්ම හරස් නොවුණානම් දෙපිළම ඉදිරියේ මීට වැඩි ගෝල සංඛ්‍යාවක් රැදී තිබෙන්නට තිබුණත්,වෙනසක් නොවී තරගයේ සම්පූර්ණ කාලයම ගෙවුණේ 1-1 ක් හැටියටය.

තරගය අවසාන තරගයක තිබිය යුතු ආස්වාදය උපරිමයට ගෙන ආවේය.නරඹන්නන් මෙන්ම තරග සංවිධානය ද ඊට සමානව උද්යෝගයට හේතු සැපයුවේය.අවසාන තරගයට තරගාවලියේ සිටි සුපිරිම කණ්ඩායම් දෙක පැමිණ තිබු බවට හැම පන්දු හරඹයකම ලියැ වී තිබිණ.එවැනි තරගාවලියක් සංවිධානය කිරීමේ දුශ්කරතාවය ජයගෙන තිබෙන බව පාදයෙන් පාදයට හුවමාරු වෙන පන්දුවල කියැවී තිබිණ.තියුණු සහ දියුණු පාපන්දු ක්‍රීඩාවක ලක්ෂණ එහෙත් අවසානයේ නැවතුණේ දෙපිළේ ගෝල රකින්නන් වූ එස්.ආරිනිකන් සහ යන්සාන් අලසානි ගේ දෑත්වලින් වඩා ආරක්ෂිත දෑත තෝරා ජයග්‍රහණය පිරිනැමීමේ තැනට පිවිසය.

සෝන්ඩර්ස් කණ්ඩායමේ නායකයා ඉන්දික උදාර පළමු උත්සාහය ගත්තේය.තරගාවලිය පුරාම කැපී පෙණුන ඉන්දික ඉතා දිගු දුරක සිට පන්දුව හුවමාරු කිරීමට දක්වන ලද දක්ෂතාවය තරගාවලිය පුරාම කැපී පෙණින.එහෙත් සෙන්ට් මේරී හී ආර්නිකන්ගේ දෑස,සිරුර සහ මනස ප්‍රහාරකයාගේ රිද්මය සමඟ සම්පූර්ණයෙන් බද්ධ වී තිබිණ.පන්දුව එන මඟට නිසි ලෙස පැමිණි ආර්නිකන්,ඉන්දිකගේ ප්‍රහාරයට සිය දෑත ඉක්මවා යාමට ඉඩ නොදුන්නේය.දෙවන ගෝලය එල්ල කරන්නට පැමිණියේ සෝන්ඩර්ස් සතු වූ ප්‍රතිවාදී දැල්වල ආරක්ෂාව සුනු විසුණු කළ රොජර් පිලිප්ස් ය.ඔහුටත් ඒ සිඳුවීමටම මුහුණ දෙන්නට විය.සෝන්ඩර්ස් ක්‍රීඩකයින් සිව් දෙනෙකු ගත් උත්සාහයන්ගෙන් ආර්නිකන් ට වළක්වා ගත නොහැකි වූයේ මොහොමඩ් ආසිෆ් ගේ ප්‍රහාරය පමණය.පැතුම් ගිම්හාන් ගත් උත්සාහයට ද ආර්නිකන් රොජර්ගේ සහ ඉන්දිකගේ උත්සාහයන්ට අත් කළ ඉරණමම අත් කර දුන්නේය.

එහෙත් සෙන්ට් මේරිස් ප්‍රහාරකයන් තිදෙනෙකුම එල්ල කළ ප්‍රහාර ඒ වන විටත් යන්සාන් අලසානිගේ දෑත් පසුකර ගෝල බවට පත් වි තිබුණ නිසා නිදහස් පහරේ ජයග්‍රහණය සෙන්ට් මේරිස් මතින් යාපනයට පැටවිණ.ඒ ප්‍රහාරයන් එල්ල කළේ ජෝන් ලවානි,ඩන්ජුමා ගුම්භාරි සහ සෙන්ට් මේරිස් හී ජයග්‍රහණයේ නියමුවා වූ ආර්නිකන් ය.

එසේම චැම්පියන් ලීගය ද සැළකිල්ලට ගෙන තරගාවලිය සම්බන්ධයෙන් පිරිනමන ලද විශේෂ ඇගයිම් ගණනාවක් ද දකින්නට ලැබිණ.පහතින් දැක්වෙන්නේ එම දක්ෂතාය.

විජයකුමාර් අභිෂාන් (සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය) තරඟ 13 කදී ගෝල 8 ක් ලබා ගනිමින් තරඟාවලියේ නැගී එන ක්‍රීඩකයා විය.( Golden Ball)

මොහොමඩ් ලුත්ෆි (සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය) තරඟ 13 කදී ක්ලීන් ෂීට් 6 ක් වාර්තා කරමින් රන් අත්වැසුම දිනා ගත්තේය.( Golden Glove)

රොජර් පිලිප් (සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය) තරඟ 10 කදී ගෝල 10 ක් ලබා ගනිමින් ඉහළම ලකුණු ලාභියා ලෙස ගෝල්ඩන් බූට් ජයග්‍රාහකයා විය.( Golden Boot)

Solid SC තරඟ 10 කදී ගෝල 14 ක් සහ රතු කාඩ්පත් 2 ක් සමඟ අඩුම කාඩ්පත් සංඛ්‍යාවක් වාර්තා කරමින් වඩාත්ම විනයගරුක කණ්ඩායම ලෙස Fair Play සම්මානය දිනා ගත්තේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...