Home පුවත් ක්‍රී​ඩා ලෝක උරුම දුම්බර රටා මවන ගමේ නම ලෝකයට කියන දඟ කවන්නිය –...

ලෝක උරුම දුම්බර රටා මවන ගමේ නම ලෝකයට කියන දඟ කවන්නිය – අසෙනි තලගුණේ

නිශ්මං රණසිංහ

යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස පත් කර ඇති දුම්බර රටා හා බැදුණු පාරම්පරික ගම්මාණය තලගුණේ යි.නියඳ ශාකයේ පත්‍ර යොදාගෙන කරන පිළි නිර්මාණය දුම්බර රටාවන් මවන පිළි අතර සුවිශේෂයි.මේ ගමට බැදුණු සෙනෙහස ඇති මුත්තනුවෙක්,2008 සැප්තැම්බර් 10 උපන් සිය මිනිබිරියගේ නම අගට සිය ගමේ නම එකතු කරන්නට තීරණය කෙරුවා.අද ලෝක උරුමයක් වූ සිය ගමේ රෙදි කර්මාන්තයට සුවිශේෂ වූ දුම්බර රටා තරමටම සිය ගමේ නම ද ජාත්‍යන්තරය තුළ කියවෙන නමක් බවට එම මිනිබිරිය පත් කරමින් සිටිනවා.මිනිබිරිය අසෙනි තලගුණේ නම් වූ මහනුවර මහමායාවේ අභිමානයත් ලෝකයට කියන සුන්දර ක්‍රිකට් ක්‍රීඩිකාවයි.


ඇයගේ පවුල් පසුබිම රජයේ සේවිකාවන් වූ අම්මා සහ තාත්තාගේ රැකවරණය ඇතුව වැඩිමහල් අයියා කෙනෙකු සහ බාල නංගි කෙනෙකු සහිත කැදල්ලකි.ඇයත් නංගිත් මහනුවර උසස් බාලිකාවට යද්දී අයියා ගියේ කිංස්වුඩ් විද්‍යාලයටය.අයියා කිංස්වුඩ් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නොසිටියාට ගෙදරදී නංගීට දස්කම් පෙන්වන ක්‍රීඩකයෙකු විය.


‘අයියයි මමයි ඉතිං ක්‍රිකට් ගහනවා.මට පුළුවන් කියලා දැණුනා.ස්කෝලෙ නොතිබුණාට මම පිටින් සෙල්ලම් කරලා දිස්ත්‍රික් සංචිතයට එන්න පාර හදා ගත්තට පස්සෙ අටේ පංතිය අග වෙන කොට මට මහමායා එකට එන්නත් පුළුවන් වෙනවා.‘


පියා රජයේ සංවර්ධන නිලධාරියෙකි.මව ගුරුවරියකි.ඔවුන් දෙදෙනාට දුවගේ හැකියාව සහ ඒ ඔස්සේ යා හැකි මඟ ගැන තේරුම් ගන්නට තිබුණ බුද්ධියද වැදගත්ය.
‘ක්‍රිකට් ජීවිතය පිටිපස්සෙ වගේම අධ්‍යාපනය පැත්තෙනුත් ගෙදරින් මට උදව් ලැබෙනවා.අම්මා ටීචර් කෙනෙක් නිසා එයාගෙ සම්බන්ධතා හරහා මට ඕලෙවල්වලට ඔන් ලයින් ක්ලාස් ලැබුණා.මම ටුවර් එකක් ගියත් කණ්ඩායම එක්ක මැච්වල හිටියත් මට පුළුවන් වෙලාවල ඒ ස්ර්ල මිස්ල එයාලගෙ කාලෙ මං වෙනුවෙන් වෙන් කරා.ස්කෝලෙත් එහෙමයි.මිස් වෙන දේවල් අල්ල ගන්න උදව් කරනවා‘
ගෙදර තිබෙන අධ්‍යාපනික පසුබිම සහ තමන්ගේ සුවිශේෂී වූ ක්‍රීිඩාව සමබරව පවත්වාගෙන යන්න අසෙනිට හැමෝගෙන්ම ලැබෙන ආදරය වැදගත්ය.ඇය ඒ නිසාම පවසන්නේ නිමා වූ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල එන දවස තමන්ට සතුටු වෙන්න පුළුවන් දිනයක් වනු ඇති බවය.


මේ මොහොතේ ක්‍රියාත්මක ඔස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය අසෙනිගේ ජීවිතයේ අතිශයින් වැදගත් තරගාවලියක්ය.කඩුලු එන මෙන්ම ලකුණු ද නොයන ලෙස ඇය හොඳින් පන්දු යවමින් සිටින්නීය.
ඔව් හොඳට කන්ට්‍රෝල් එකේ බෝල් කරනවා
ඇය ඇය ගැනම ඒ ගැන අහද්දී දෙන සහතිකයට හේතු ද පවසන්නේය.


‘අපේ ෆීල්ඩින්ග් බලන්නෙ ඇන්ටන් සර්.එයා වගෙම කෝච් කරන මහේෂ් වීරසිංහ සර්ත් ගොඩක් මට මගේ බෝලින් කන්ට්‍රෝල් එක හදාගන්න උදව් කළා.‘
අසෙනි පවසන්නේ වැඩි අත්දැකීම් වැඩි දක්ෂතා සහිත අය සමඟ ක්‍රීඩා කිරීමෙන් ද විශාල වශයෙන් උපයා ගන්න ලැබෙන බවය.එහිදී ජාතික කාන්තා ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් අවුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවන් පමණක් ඇතුළත්ව රෙඩ් කණ්ඩායම සහභාගි කරවීම ඇය දකින්නේ වර්ථමාන අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ලැබුණ විශාලතම අත්දැකීම ලෙසය.


‘හර්ෂිතා අක්කලා එහෙම එක එක්කෙනාට එක එක විදිහට ගහන්නෙ.එහෙම වුණාම අපිට බෝල් කරන්න වෙනම හිතන්න වෙනවා.කල්පනා කරන්න වෙනවා.මම ඒ ටූනමන්ට් එකේ ගත්ත හොඳම විකට් එක කියලා හිතන්නෙ විශ්මි අක්කගෙ විකට් එක.‘
අසෙනි පවසන්නේ අක්කලා ආසියානු කුසලානය දිනූ පසුව කාන්තා ක්‍රිකට් ගැන උනන්දුව වැඩි වී ඇති බවය.හැමතැනින්ම ක්‍රීඩිකාවන් ක්‍රිකට් වෙත යොමු වෙමින් සිටින බවය.
‘එහෙම තරගයක් උනන්දුවක් ඇතිවන එක හොඳයි.එහෙම වුණාම දස්කම් දියුණු කරගන්නම වෙනවා.හොඳටම කැපවෙන අය තමයි තේරෙන්නෙ.‘
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යාප්තිය වැඩි වීම ගැන අදහසක් ද අසෙනිට ඇත.ඒ අදහසට අනුව වැඩි කැපවීමකින් මහන්සියකින් වැඩ කරන්නට සිඳුවෙන බව ද ඇය තේරුම් ගෙන ඇත.
‘දැනටමත් අපට පේව්මන්ට් එකක් මාසෙට ලැබෙනවා.මේක වෘත්තියක් විදිහට තමයි කරන්නෙ.ඒ තත්ත්වය නැති කරගන්න කවුරුත් කැමති නැහැ.ඒ වගෙම හැමෝම ඒ තත්ත්වයට එන්නයි උත්සාහ කරන්නෙ.ඒක නිසා හැම වෙලේම හොඳ දක්ෂ කණ්ඩායමක් ලැබෙනවා.‘
අසෙනි ක්‍රීඩාව තුළින් මෙන්ම ඇය ජීවත්වන අධ්‍යාපනික පවුල් පසුබිම මත ද දකින දේ වැදගත්ය.ක්‍රිකට් ක්‍රීඩාවට එවන් දැක්මක් ඇති ක්‍රීඩක සහ ක්‍රීඩිකාවෝ ක්‍රීඩාව පොහොසත් කරන්නෝය.
‘අපි කණ්ඩායමක් හැටියට හරියට එකමුතුයි.ගොඩක් සමීපයි.හැමෝම කතා කරලා හරි තීරණය ගන්න බලනවා.කෝචින්ග් ස්ටාෆ් එකයි අනිත් අයයි අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා.ඒ අය අපේ සාර්ථකත්වයට එළියට නොපෙනෙන ගොඩක් දේවල් කරලා දෙනවා.වැඩියෙන්ම එකට ඉන්නෙනම් මමයි,නෙතගියි කැප්ටන් චමෝදියි තමයි.මොකද අපි තුන්දෙනාම එකම වයසෙ අය.‘