Home පුවත් දීපචෙල්වන්ට මොකද වෙන්නේ?

දීපචෙල්වන්ට මොකද වෙන්නේ?

කොළඹ LNW:රේගුවේ රඳවා ගත් දෙමළ ලේඛක දීපචෙල්වන්ගේ කෘති නිදහස් කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී ඊයේ (17) සාකච්ජාවක් පැවැත්විය.

එම සාකච්ඡාවට සංස්කෘතික කටයුතු ඇමතිවරයා ද නියෝජ්‍ය ඇමතිවරයාද, සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම්වරයා ද ලංකා කලා මණ්ඩලයේ සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකුද රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සහ සහාකාර අධ්‍යක්ෂකවරයෙකු ද සහභාගි විය.

සාකච්ජාව අතරතුර සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සාකච්ඡාව අතරමගදී වෙනත් රාජකාරියක් සඳහා ඉන් ඉවත්ව ගොස් තිබුණි.

එමෙන්ම ඔහුට සහය පළකරමින් ලේඛකයින්, සමාජ ක්‍රියාකාරිකයින් කිහිපදෙනෙක්ද ඊට සහභාගී විය.

ලේඛක දීපචෙල්වන්ගේ කෘති හතරක් පිළිබඳ ප්‍රශ්න පවතින බව එම සාකච්ජාවේදී රේගුව පාර්ශවයෙන් දැනගන්නට ලැබී ඇති අතර අතර එය නිදහස් කිරීම පිළිබඳ නිශ්චිත තීන්දුවකින් තොරව සාකච්ඡාව අවසන් කර තිබේ.

ලේඛක දීපචෙල්වන් වෙනුවෙන් ඔහුට සහය පළකරමින් සහභාගී වූවන්ට කතා කිරීමට ඉඩ ලැබුණේ ඉතා ටික වේලාවක් වන අතර රජය වෙනුවෙන් කතා කළ සාහිත්‍ය සහ කලා මණ්ඩලවල සාමාජිකයන් මේ කෘති පිළිබඳව ඔවුන්ගේ අදහස් දක්වන වාර්තාවක් සකස් කර ඇති බවද එය රේගුව වෙත ඉදිරිපත් කරන බව ද එය ප්‍රසිද්ධ කිරීමට අදහසක් නැති බව ද දැන්වූ බව ප්‍රවීණ ලේඛිකා කත්‍යානා අමරසිංහ සිය මුහුණුපොතේ සහටහනක් තබා තිබුණි.

ඉන්පසුව අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ දැක්වූයේ එම ‘ නීරීක්ෂණ වාර්තාව’ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාට භාර දෙන බවයි.

කෘති නිදහස් කිරීම පිළිබඳ තීන්දුව ගනු ලබනු ඇත්තේ ඉන්පසුව වන අතර ඊට ද දිනයක් දැනගන්නට ලැබී නැත.

”ඊයේ සිට කිලිනොච්චියේ සිට පැමිණි දීපචෙල්වන් හිස් අතින් ගෙදර ගියේය. නැවත නැවතත්, අපට ලැබී ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස පිළිබද සීමා මායිම් දැනගෙන තදබල මානසික විඩාවකින් අපිදු ගෙදර ආවෙමු. එපමණි. බොහෝ දේ ලිවීමට ඇතත් පසුවට කල් තබමි. වැඩිදුර විස්තර දීපචෙල්වන් වෙනුවෙන් අද එහි එක්වූ ලේඛක සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසෙහි පොදු ස්ථාවරය පිළිබඳ ප්‍රකාශයක් ලෙස පසුව ඉදිරිපත් කෙරෙනු ඇත.” යනුවෙන් කත්‍යානා අමරසිංහ මහත්මිය තවදුරටත් සිය මුහුණු පොතේ දක්වා තිබේ.