රටේ ජනතාව දැන් V8 පාවිච්චි කරනවා. අපි මෙච්චර කැපකිරීම් කරලා තියෙද්දී ඔබලා V8 එකක් ගැන අහනවා – සමන්ත

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ජාතික ජන බලවේගයේ දේශපාලනඥයින් විශාල කැපකිරීම් ප්‍රමාණයක් සිදුකරමින් සිටින්නේ යැයි මේ රටේ ජනතාව තේරුම් ගතයුතු බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කරයි.

ප්‍රශ්නය – ඔබතුමන්ලා ප්‍රසිද්ධියේ කරපු ප්‍රකාශ ටිකක් තියෙනවානෙ. ජනතාවට නැති කිසිම දෙයක් අපිට එපා කිව්වා. දැන් ජනතාවට V8 තියෙනවාද ?

“කෙළින්ම ප්‍රශ්නෙට එන්නකෝ. දැන් මම එනකොටත් ආපු වාහනේ ගැනත් අහයි …”

ප්‍රශ්නය – ඒක තමයි. දේශපාලනඥයින්ට V8 පාවිච්චි කරන්න බෑ කිව්වෙ ඔබතුමන්ලානෙ. මං අහන්නෙ දැන් ජනතාවට V8 තියෙනවද ?

“ජනතාව නම් රටේ V8 ටුත් පාවිච්චි කරනවා. V8 වලට වැඩිය ඒවාත් පාවිච්චි කරනවා. හැබැයි අපි මෙහෙම එකක් තියෙනවා. අපි දේශපාලනඥයින් විඳින අධිසුඛෝපභෝගී ජීවිතයකට යන්නෙ නැහැ. අපි කෙළින්ම බහිමුකෝ, ඔය හඳුන්නෙත්ති සහෝදරයාට පහුගිය දවස්වල ආපු චෝදනාව එක්ක තමයි ඔය V8 කතාව එන්නෙ. මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනෙ අනුර සහෝදරයා ජනාධිපති වීමත් එක්ක විශාල කැපකිරීම් වගයක් අපි කරමින් ඉන්නවා. සිස්ටම් එක චේන්ජ් වෙන්න නම් දේශපාලනය පළවෙනියෙන් වෙනස් වෙන්න එපැයි. ඒ සඳහා විශාල ක්‍රියාමාර්ග තොගයක් අපි ගත්තා, ඒවා තවම අවසන් නැහැ. සුඛෝපභෝගී වාහන තොගයක් අපි අත්හැරියා, ඒවා වෙන්දේසි කළා, ඒ සල්ලි භාණ්ඩාගාරෙට ඇරියා, රටේ සංවර්ධනයට යෙදෙව්වා. ජනාධිපතිතුමා සතුව තිබුණු මන්දිර ගණනාවක් අපි අත්හැරියා. ඇමතිවරු හැටියට අපි කිසිම කෙනෙක් ඇමති මන්දිර ගත්තෙ නෑ. පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහෝසි කළා. ජනාධිපති වරප්‍රසාද විශාල ප්‍රමාණයක් අත්හැරියා. මේ අවුරුදු එකහමාරට විශාල දෙයක් කරලා තියෙන අතරේ V8 එකක් ගැන ඔබ ප්‍රශ්නයක් නගනවා. ප්‍රශ්නයක් නැහැ. අපි මේ පවතින දේශපාලනය වෙනස් කරලා ජනතාවාදී පාලනයකට පාර හදමින් ඉන්නවා. ඒ අතරේ තවත් පාර හදන්න ඕනෙ තැන් තියෙනවා, ඒක අපි පිළිගන්නවා”

ප්‍රශ්නය – ඔබතුමන්ලාගෙ දේශපාලන දර්ශනය තුළ පුද්ගලික දේපළ අයිතිය ප්‍රතික්ෂේප කරනවාද ?

“නැහැ. පුද්ගලික දේපළ ඉතින් ඔබටත් තියෙනවා, මටත් තියෙනවා”

ප්‍රශ්නය – හැබැයි එහෙම නේද ජේවීපී දේශපාලනය කලින් තිබුණෙ ?

“ජේවීපී දේශපාලනය, කොමියුනිස් ක්‍රමය ඇතුළෙ තියෙන එකක් ඔබ ප්‍රශ්න කරන්නෙ. කොහොම වුණත් අපි ජාජබ හැටියට මේ රටේ ජනතාවට තමන්ගෙ දේපළ රැස්කරගන්න, සාධාරණ ක්‍රමවේදයක් ඇතුළෙ ඒවා වර්ධනය කරගන්න අවස්ථාව දීලා තියෙනවා. මටත් ගත්තාම පොදු ඉඩමක්, පවුලේ ඉඩමක් මටත් තියෙනවා. ගෙයක් තියෙනවා”

ප්‍රශ්නය – ඒවා පක්ෂයෙන් දෙන ඒවා නෙවෙයි ?

“නැහැ. ගෙවල් පක්ෂයෙන් දීලා නැහැනෙ අපිට …”

ප්‍රශ්නය – ඒ කියන්නෙ සල්ලි විතරයි පක්ෂයෙන් දෙන්නෙ ?

“නැහැ, සල්ලි කියන්නෙ පක්ෂයට මෙහෙමනෙ, පක්ෂයට මොනවාහරි ආදායම් මාර්ග තියෙන්න ෆැක්ටරි හරි, වතු හරි නැහැනෙ”

ප්‍රශ්නය – ඉස්සර නම් කිව්වෙ බෙහෙත් ටික, ෂර්ට් එක, එළවලු ටික හැමදේම ජනතාවගෙන් ලැබෙනවා කියලා නේද ?

“දැනටත් යම් ප්‍රමාණයටකට ලැබෙනවා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ලැබුණ ප්‍රමාණය අඩුවෙලා තියෙනවාද ?

“නැහැ, ප්‍රමාණයේ අඩුවක් කියන්න බැහැ. දැන් බලයක් එනවා කියන්නෙ හිටපු ගාණෙන් ඇවිල්ලා නෙවෙයිනෙ. 3% ඉඳලා නෙවෙයිනෙ. මේක පුළුල් වෙලා එනකොට මේ වගේ අවස්ථාවල ජනතාව සහාය දෙන ප්‍රමාණයේ යම් අඩු වැඩිවීම් සිද්ධ වෙනවා”

ප්‍රශ්නය – දැන් ඔබ ඔය කියන දේවල් එක්ක මට හිතෙන්නෙ ඔය අර කලින් ජවිපෙ කියපු සේරම දේවල් අත්හැරලා වගේ. එහෙමද ? ඒ කියන්නෙ මේක සමාජවාදී නෙවෙයි ධනවාදී පැත්තට යන්නෙ. එහෙමද ?

“ඔබට එහෙම පෙනෙනවාද මම දන්නෙ නැහැ. අපේ හදවත අපිනෙ දන්නෙ. ඒ හින්දා එදා තිබුණු සිතුම් පැතුම්, මතවාද, දර්ශනයක් තිබුණා නම් ඒවා වෙනස් වෙලා නැහැ. හැබැයි මෙහෙමයි. ඕනෑම ගෙයක නොවෙනස් වෙච්ච එකක් තියෙනවා. ඒ තමයි අත්තිවාරම. හැබැයි අත්තිවාරම මත හැදෙන හැඩතල වෙනස් වෙන්න පුළුවන්. අපි මේ ලෝකෙ තත්වයන් රටේ තත්වයන් තේරුම් අරගෙන හැඩතල වෙනස් කරගෙන තියෙනවා”

ප්‍රශ්නය – ඔබේ වත්කම් බැරකම් ප්‍රකාශය මං ළඟ තියෙනවා, මේක තියෙනවා වැටුප්. 31,84,300ක්. මං හිතන්නෙ මේක පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප වෙන්න ඕනෙ. ඊළඟට ඉඩමේ වගාවෙන් ලැබෙන ආදායම තියෙනවා 21,50,000ක්. මොකක්ද ඇමතිතුමා ඒ වගාව ?

“අපේ තියෙනවා ගම්මිරිස් වගාවක්. ගම්මිරිස් අක්කරයකට වඩා තියෙනවා. අක්කර එකහමාරක් විතර ඇති. ඒ ගම්මිරිස් වගාව අම්මා, අපි, මට නම් ගොඩක් දේවල් කරන්න වෙන්නෙ නෑ, ඒ ගම්මිරිස් අස්වැන්න අපි වාර්ෂිකව අලෙවි කරනවානෙ…”

ප්‍රශ්නය – එතකොට ඒ ඉඩම ඔබේ පාරම්පරික ඉඩමක්ද ?

“ඒක … තාත්තලා මිලදී ගත්ත ඉඩම. ඔච්චරයි ඉඩමකට තියෙන්නෙ. ඒ ඉඩමත් තවම හවුල් ඉඩමක් ඈ … ඕකෙ දාලා ඇති බලන්න, නොබෙදූ කියලා. මටයි අක්කාටයි නන්ගිලා දෙන්නාටයි හිමි. අම්මාත් ජීවතුන් අතර ඉන්නවා. තවම නොබෙදූ හින්දා ඔය ආදායම තවම එකට දාලා තියෙන්නෙ. මගේ කොටස නෙවෙයි ඔය තියෙන්නෙ. සම්පූර්ණ ඉඩමෙන් ලැබෙන ආදායම, ඕක පවුල අතරේ බෙදෙන්න ඕනෙ. ඕකෙන් නම් ඇත්තටම කළේ අපේ මහගෙදර හදපු එක”

සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව පැවසුවේ නෙත් එෆ්. එම්. නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ය.