පේරු සිට යුක්රේන යුද පෙරමුණට: රුසියාවේ ‘රැකියා උගුලට’ හසුවූ මිනිසුන්ගේ අනාවරණය

රෂිකා හෙන්නායක මැයි 02 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

වඩාත් යහපත් ජීවිතයක් සහ ස්ථාවර ආර්ථිකයක් සොයා යන ගමනක් මරණයේ යුද බිමකින් අවසන් වනු ඇතැයි කිසිවෙකුත් බලාපොරොත්තු වන්නේ නැත. එහෙත්, පේරු රාජ්‍යයේ වැසියන් පිරිසකට අද අත් වී ඇත්තේ එවන් අභාග්‍යසම්පන්න ඉරණමකි. ආරක්ෂක අංශ රැකියා සඳහා රුසියාවට යන බව සිතා පිටත්ව ගිය පිරිසක්, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදාව වෙනුවෙන් සටන් වැදීමට බල කර ඇති බවට බිහිසුණු තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. සැපවත් ජීවිතයක් පතා ගිය ගමන අවසානයේ ඔවුන් යුද පෙරමුණක සිරකරුවන් බවට පත්ව ඇත්තේ සංවිධානාත්මක ජාවාරමක ගොදුරු බවට පත්වෙමිනි.

බොරු පොරොන්දුවලින් ඇටවූ රැකියා ජාලය

මෙම රැකියා ජාලය ක්‍රියාත්මක වී ඇත්තේ අහිංසක මිනිසුන්ගේ ආර්ථික අපහසුතා අතිශය කූට ලෙස ප්‍රයෝජනයට ගනිමිනි. “ආරක්ෂක නිලධාරීන්” (Security agents) ලෙස සේවය කිරීම සඳහා අවස්ථාව ඇති බව පවසමින් රුසියාවට බඳවා ගත් මෙම පිරිසට මසකට ඇමරිකානු ඩොලර් 2,000 සිට 3,000 දක්වා වූ ආකර්ෂණීය වැටුප් පොරොන්දු වී තිබේ. එහෙත් සැබෑ තත්ත්වය නම්, ඔවුන්ව බඳවා ගෙන ඇත්තේ ආරක්ෂක රාජකාරි සඳහා නොව, යුක්රේන යුද පෙරමුණේ ඉදිරි පෙළ සටන් සඳහාය.

මෙම මාරාන්තික රවටා ගැනීම සම්බන්ධයෙන් පේරු රාජ්‍යයේ මහජන අභිචෝදක කාර්යාලය (Public Prosecutor’s Office) මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙය හුදෙක් රැකියා වංචාවක් නොව, “බරපතල ගණයේ මිනිස් ජාවාරමක්” (Aggravated human trafficking) ලෙස නීතිය හමුවේ හඳුනාගෙන තිබේ.

“පොරොන්දු වූ මුදල් ලබා දෙන බව පවසා රුසියාවේ ආරක්ෂක අංශ රැකියා සඳහා මොවුන්ව රවටා බඳවා ගෙන ඇත”

වාර්තාවලට අනුව, පසුගිය ඔක්තෝබර් මාසයේ සිට පමණක් පේරු වැසියන් 600ක් පමණ මෙලෙස රවටා යුද්ධයට යොදාගෙන ඇත. පවුල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ පර්සි සලිනාස් (Percy Salinas) තහවුරු කරන පරිදි, මේ වන විට පේරු වැසියන් 13 දෙනෙකු යුද බිමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ඛේදවාචකයේ මානුෂීය මුහුණුවර වඩාත් තදින් දැනෙන්නේ ලිමා නුවර වීදිවලදීය. තම ස්වාමිපුරුෂයාගේ ඡායාරූපයක් දෑතින් දරාගෙන, කඳුළු පිරි දෑසින් යුතුව යුක්රේන යුද බිමේ සිටින තම ආදරණීයයා නැවත ඉල්ලා සිටින පේරු ජාතික කාන්තාවකගේ රුව, මෙම විනාශ වූ පවුල්වල කතාව ලොවටම කියාපායි. මෙය හුදෙක් ඉලක්කම් දහතුනක් නොව, පවුලේ ජීවනෝපාය සලසා දීමට ගිය ආදරණීයයන් අහිමි වූ නිවාස දහතුනක හදවත පලායන විලාපයයි.

රුසියාව සිය යුද ශක්තිය පවත්වා ගැනීම සඳහා විදේශිකයන් දඩයම් කිරීමේ ක්‍රියාවලිය පේරු දේශයට පමණක් සීමා වූවක් නොවේ. මෙය රුසියාවේ ගෝලීය උපක්‍රමයක කොටසකි. යුක්රේන ඇස්තමේන්තුවලට අනුව අප්‍රිකානු රටවල් 36 කින් පුද්ගලයින් 1,780 කට වැඩි පිරිසක් රුසියානු හමුදාව සමඟ යුද වැදී සිටිති. මීට අමතරව, උතුරු කොරියානු සෙබළුන් දහස් ගණනක් ද මීට සම්බන්ධ වී ඇති අතර ඔවුන්ගෙන් විශාල පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇත.

රුසියාව සිය රටේ සෙබළුන් වෙනුවට, ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රදේශවලින් රවටා ගෙන්වා ගන්නා විදේශිකයන් “වැය කළ හැකි බලවේග” (Expendable forces) හෙවත් යුද බිමේ බිල්ලට දෙන පිරිසක් ලෙස යොදා ගන්නා බව පැහැදිලි වේ.

මෙම සිදුවීම පේරු රජය සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තාවක් නිර්මාණය කර ඇත. පේරු නීතියට අනුව, එරට පුරවැසියන් විදේශ හමුදාවක සේවය කිරීමට පෙර විදේශ අමාත්‍යාංශයෙන් පූර්ව අවසරයක් ලබා ගැනීම අනිවාර්ය වේ.

මෙහි ඇති ප්‍රධානතම ගැටුම වන්නේ රුසියානු බලධාරීන් සහ පේරු වැසියන් පවසන කරුණු අතර පවතින පරස්පරතාවයි. ලිමා නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය පවසන්නේ මෙම පිරිස රුසියානු සන්නද්ධ හමුදාව සමඟ කැමැත්තෙන් “ගිවිසුම් අත්සන් කර ඇති” බවයි. එහෙත් අසරණ වූ පවුල් සහ පේරු රජය අවධාරණය කරන්නේ එම ගිවිසුම් ලබාගෙන ඇත්තේ “රවටා බඳවා ගැනීම්” හරහා බවයි. තම ආදරණීයයන් වහාම මෙරටට ගෙන්වා දෙන ලෙස බල කරමින් පේරු වැසියන් ලිමා නුවර විදේශ අමාත්‍යාංශය ඉදිරිපිට මේ වන විටත් විරෝධතාවල නිරත වෙමින් සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...

PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...