එක්කෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් නීති නවන්න බෑ භානුක දිගටම ක්‍රීඩා කරනව නං සතුටුයි – නාමල් රාජපක්ෂ

Date:

ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටිනවා. ඔහු තවමත් තරුණ ක්‍රීඩකයෙකු බැවින් තවත් දිගු කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාව තිබෙන බවත් ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කරනවා.

භානුක රාජපක්ෂගේ සමු ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමතිවරයා මේ බව සඳහන් කරයි.

ඕනෑම ක්‍රීඩයකයකුට ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩා ජීවිතය ද අභියෝගාත්මකය. මේ සියලුදෙනා වෘත්තිමය ක්‍රීඩකයන් වේ. ඒ නිසා වෘත්තිමය ක්‍රීඩකයන් හැමවිටම එම වෘත්තිමය තත්ත්වයත් රැක ගැනීමටත් එය ආරක්ෂා කිරීමටත් බැඳී සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ. ඊට ගරු කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව උදෙසා අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කිරීමට අපි පසුගිය කාලයේ දී ක්‍රියා කළෙමු.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව හා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ තීන්දුවක් ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙස ද පත් කෙරිණි. ඔහුගේ සේවය මේ වනවිට වයස අවුරුදු 19 පහළ ලෝක කුසලානය තරගාවලියේ දී අපගේ යොවුන් ක්‍රීඩකයන් වෙනුවෙන් ද ලබා ගනිමින් තිබේ.

මේ අයුරින් ක්‍රිකට් ක්‍රීඩාව දියණුව උදෙසා මේ වනවිට දිගු කාලීන සැලැස්මක් සකස් කර ඇති අතර එය තාක්ෂණික වැඩපිළිවෙලකින් ද සමන්විතය. එය ක්‍රමවත්ව ඉදිරියට යාම තුළින් කෙටි කාලීන ජයග්‍රහණයන්ට වඩා කලක් පවතින ජයග්‍රාහී මාවතක් උදාවනු ඇති බව මාගේ විශ්වාසයයි.

වෘත්තිමය බැඳීම්වලට ගරු කරමින් ක්‍රීඩකයන්ට සිය පෞද්ගලික හේතුමත ක්‍රීඩා කණ්ඩායමකින් ඉවත්ව යාමට පූර්ණ අයිතියක් තිබේ. එවැනි අවස්ථාවක එසේ ඉවත්ව යාමට ගන්නා තීන්දුව ක්‍රීඩකයාගේ තීන්දුවක් විය යුතුය.

ඇතැම් විට මෙවැනි තීන්දුවකට පරිපාලනය සමඟ ඇතිවන ගැටලුවක් හේතුවී ඇත්නම් හෝ යම් අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සඳහා මැදිහත්වීමට අවස්ථාවක් ඇත.

එසේ වුවද එක් ක්‍රීඩකයකු හෝ කිහිපදෙනෙකු පමණක් මුල්කරගෙන සමස්ත ව්‍යුහයම හෝ සමස්ත නීති පද්ධතියම වෙනස් කිරීමේ හැකියාවක් නැත. එවැනි මැදිහත්වීම් කළ විට සිදුවන්නේ සමස්ත ක්‍රියාවලියම කඩා වැටීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රිඩාවේ ජයග්‍රහණ උදෙසා සැලැස්මකට අනුව ක්‍රියාත්මක වනු දැකීම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මා ඇතුළු සියලුම ක්‍රීඩාලෝලීන්ගේ අපේක්ෂාවයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම අනෙකුත් ක්‍රීඩාවන්හිදී ද ක්‍රීඩකයාගේ විනය මෙන්ම පරිපාලකයන්ගේ විනය සම්බන්ධයෙන් ද මා දැඩි ව සිටින බව සිහිපත් කළ යුතුය.

පසුගිය කාලයේ ඇතැම් ක්‍රීඩකයන්ගේ විනය විරෝධී හැසිරීම් හේතුවෙන් ඔවුන්ට දඬුවම් නියම කෙරිණි. ඔවුන්ට නැවත ක්‍රීඩාවේ නිරතවීමට අවස්ථාව ලැබුණේ අදාළ දඬුවම් කාලය තුළ එම තීන්දුවට ගරු කරමින් හැසිරීම නිසාය. එම ක්‍රීඩකයන් වුවද නැවත වතාවක් විනය විරෝධීව රටට අපකීර්තියක් ගෙනන අයුරින් කටයුතු කළහොත් ඔවුන්ට ජීවිතාන්තය දක්වා ක්‍රීඩා තහනමක් නියම කිරීම දක්වා වූ තීරණයකට එළැඹීමට වුවද මා මැලි නොවන බව සිහිපත් කරමි.

ඒ අනුව මින් පෙර දැරූ ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් සිදුව නැති බව විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරමි.

නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...