කොළඹ ජාතික රෝහලේ පවතින ගැටළු රැසකට කඩිනම් විසදුම්…

රෂිකා හෙන්නායක මැයි 17, කොළඹ LNW :

කොළඹ ජාතික රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාවන්, පරිපාලන කටයුතු සහ පවතින අනෙකුත් ගැටළු සඳහා කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් පාලනාධිකාරිය සහ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල සමඟ විශේෂ රෝහල් කළමණාකරන රැස්වීමක් ජාතික රෝහලේ අපස්මාර ප්‍රතිකාර මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණි.

මෙහි දී රෝහලේ දැනට පවතින අඩුපාඩු සහ ප්‍රධාන ගැටළු පිළිබඳවත් විශේෂයෙන් ම උපකරණ, ඖෂධ, මානව සම්පත්, පරිපාලන කටයුතු  ආදී කරුණු මෙන්ම සංවර්ධන වැඩසටහන් සහ නැඟෙන චෝදනා පැමිණිලි, නව අදහස් ආදිය පිළිබඳවත් අමාත්‍යවරයා  කරුණු සොයා බලමින් කාර්ය මණ්ඩල සමඟ දීර්ඝව සාකච්ඡා කරන ලදී.

ඖෂධ සඳහා වෙනත් වසර වලට වඩා විශාල මුදලක් සහ හදිසි මිල දී ගැනීම් සඳහා ද පෙර වසර වලට වඩා වැඩි මුදලක් වෙන් කළ ද රෝහල තුළ ඖෂධ හිඟ බවට වරින්වර අසන්නට ලැබෙන බවත්, මීට අමතර උපකරණ ආශ්‍රිත ගැටළු ද පිළිබඳව ද දැන ගැනීමට ලැබෙන බව සදහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා  එම කරුණු පිළිබඳව සත්‍ය අසත්‍යතාවය විමසමින් ඒ පිළිබඳව  විශේෂ අවධානයක් යොමු කර දීර්ඝව කරුණු සොයා බැලීමට ද මෙහි දී පියවර ගනු ලැබීය. 

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  වෛද්‍ය හංසක විඡේමුණි මහතා මෙහි දී අදහස් දක්වමින් රෝහලක් ලෙස එහි ගුණාත්මකභාවය දැකිය යුත්තේ මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව භාවිතා කරන මහජනතාව බවත්, රෝහල් කාර්ය මණ්ඩලය ලෙසින් දැකිය යුත්තේ රෝහලේ සංවර්ධනය පිළිබඳව බවත් ය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය විමසීමේ දී  ශ්‍රී ලංකා ජාතික රෝහල මිනුම් ද‍ණ්ඩක් ලෙස සලකා බලනු ලබන බවත්, එබැවින් මෙම රෝහල ආදර්ශමත්, කාර්යක්ෂම, ගුණාත්මක රෝහලක් ලෙස හා රෝගී සුරක්ෂිතතාවය උපරිම මට්ටමකින් පවතින රෝහලක් ලෙස ප්‍රතිකාර සේවාවන්  ක්‍රියාත්මක විය යුතු බවත් එහි වගකීම  මෙම රෝහලේ සේවය කරනු ලබන සියලු වෘත්තිකයන් හට පැවරෙන බව ද අමාත්‍යවරයා මෙහි දී සිහිපත් කරන ලදී.

විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සිය ගැටළු මෙහි දී අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ අතර, එම ගැටලු අතරින් කඩිනම් විසදුම් ලබාදිය හැකි ගැටලු කිහිපයක් සඳහා එම මොහොතේම විසදුම් ලබා දීමට අමාත්‍යවරයා පියවර ගනු ලැබීය. අනෙකුත් කරුණු පිළිබඳව ද ඉතා ගැඹුරින් සොයා බැලු නියෝජ්‍ය අමාත්‍යවරයා එම ගැටලු හැකි ආකාරයෙන් අවම කරගනිමින් රෝගී ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් මෙහි දී ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරී වෛද්‍ය නජිත් ඉන්දික, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්වන දිනිප්‍රිය හේරත්, ප්‍රසන්න හේරත්, එච්.එම්.අයි.සී. හේරත්, වසන්ත කුමාරසිංහ, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණූ ඩයස්, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් ඇතුළු පරිපාලන නිලධාරීන්, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියන් ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය කරමින් සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...