ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා ලබන සඳුදා (25) දිනයේදී තලංගම පොලීසිය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
ඒ, පසුගිය මැයි 18 වනදා පාර්ලිමේන්තුව ක්රීඩාංගනය අසල පිහිටි රණවිරු ස්මාරකය අසලදී ඇතිවූ සිද්ධියට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා ය.
විමල් වීරවංශ මහතා එදින එම රණවිරු ස්මාරකය අසලට නීතිවිරෝධී ලෙස රැස්වී එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑ බවට පහළ වලව්වේ සෙනරත් බණ්ඩාර නමැති අයකු විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව මෙසේ ප්රකාශයක් සටහන් කරගැනීම සඳහා 22 වනදා පැමිණෙන ලෙස පොලීසිය විසින් දැනුම් දී තිබුණු අතර ඒ සඳහා 25 වනදා පැමිණෙන බව වීරවංශ මහතා පොලීසියට දැනුම් දී තිබිණි.
ඒ අනුව සඳුදා දිනයේ පැමිණෙන වීරවංශ මහතාව අත් අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් අභ්යන්තර ආරංචිමාර්ග ප්රකාශ කළේය.


