තාරක අරගලයට සුබ පැතූ අයෙක් බව රහසක් නොවෙයි. එහෙත් ඒ දේශපාලනිකවයි. ඒ නිසා, අරගලය දේශපාලනිකව විචාරය කිරීමේ අයිතියද තාරකට තියෙනවා. මේ සූදානම් වන්නේ ඒ අයිතිය පාවිච්චි කිරීමටයි.
අප්‍රේල් 09 ට පෙර ඇවිළ ගිය ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාව, අප්‍රේල් 30 දින සිට ගාලුමුවදොරට කේන්ද්‍ර වුණා. කේන්ද්‍ර වුනා කියල මතුපිටින් පෙනුණත් දේශපාලනය දන්නා අයට අනුව, ගාලුමුවදොරට කේන්ද්‍ර කෙරුවා.
ලෝකයේ ස්වයං සිද්ධ අරගල වියහැකිද – ඒ කොපමණ කාලයකටද කියන එක විවාදාපන්නයි. එවැනි අරගලයක් ඇරඹුණත් ඒ සැණින් එය දේශපාලන න්‍යායපත්‍රයකට නතු වීම වැළැක්විය නොහැකියි. ඒ තරමටම `බලවත්` දෙයක් දේශපාලනය. මක්නිසාද යත්, දේශපාලනය කියන්නෙම, බලය හොයාගෙන යන මාර්ගයයි.
ගාලුමුවදොර අරගල භූමියේදී නිතර ඇසුණු දෙයක් තමයි, අරගලයේ නිර්පාක්ෂිකත්වය රැකගන්නට නොදී, විවිධ දේශපාලන න්‍යාය පත්‍රවලට එය නතුකරගන්න හදනවාය කියන චෝදනාව. ඒ චෝදනාව විශේෂයෙන්ම නැගුණේ ජනතා විමුක්ති පෙරමුණට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එරෙහිව. එහෙත්, බොහෝ දෙනෙක් නොදත් – ටික දෙනෙක් දැනගෙන නොදන්නා සේ සිටි කාරණාව තමයි, ඔය කියන නිර්පාක්ෂිකත්වය පවා වෙනත් සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍රයක කොටසක් බව.
අරගලය මෙහෙයවීමේ `නිර්පාක්ෂික` හස්තයට කරදරයක් වුණේ එතැන තිබ්බ වාමාංශික `හස්ත`. ඒ නිසා ඒ චෝදනාව නැගුවා කියන එකයි තාරකගේ අදහස.
කෙසේවෙතත් ගාලුමුවදොර අරගලය ස්වයං සිද්ධව – ඉබේ පැනනැගුණ අරගලයක් යැයි තාරක සිතන්නේ නැහැ. මාර්තුවේ තිබුණු `වමේ රැල්ල` අප්‍රේල් මාසයේ අරගල රැල්ල නැග එන විට, එය කළමනාකරණය කරගැනීම සඳහා උත්සුක වෙන්න වමටත් සිද්ධ වුණා. ඔව්, ඒක ඇත්ත.
අයිතිකරුවකු නොදන්නා අරගලවල අවදානම දැන දැනම වුව, තාරක එයට ආශීර්වාද කළේ තත්ත්වයන් වෙනස් කළ හැක්කේ දේශපාලන මැදිහත්වීම්වලින්ය යන පදනම මත හිටගෙනයි. අසිරිමත් අරගල භූමියේ නිර්මාණය වුණු සාමුහිකත්වයට, ආදරයට, අන්‍යොන්‍ය ගෞරවයට, වෙනස් අදහස් ඇතිව එකට වැඩකිරීමේ අභ්‍යාසයට… ආදී සකලවිධ ධනාත්මක තත්ත්වයන්ට තාරක පක්ෂපාතී වූයේ, එකී දේශපාලන අදහස මත පදනම් වෙමිනුයි.
අන්න ඒ නිසා, අරගලයට තාරකගේ ඇති ආදරය, ඉතාම දේශපාලනිකයි. එය කිසිසේත්ම ආගමික භක්තියක් නොවෙයි.
දැන්, මේ මොහොත වන විට අරගලය ආගමක් වීමේ ප්‍රවණතාවක් තාරක හඳුනාගන්නවා. පීඩනයට එරෙහිව සටන් කිරීමේ ජීවන විලාසයක් ලෙස අරගලය පැවතිය යුතු නමුත්, අරගලය ආගමක් විය යුතුද ? 9 වැනිදාව අරගලයේ පෝය දිනය විය යුතුද ?
අරගලයේදී මියගිය ජනතා විරුවන් සිහිකිරීමේ මහා වරදක් නැති මුත්, හැම 9 වැනිදාවකම ගාලුමුවදොරට පැමිණ ඉටිපන්දම් දැල්වීමේ චාරිත්‍ර පවත්වාගෙන යන්නට ගියහොත්, අරගලය යනු පුංචි නිකායක සෙල්ලං සොමියක් වීමේ අනතුරක් පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව කිවයුතුයි. අරගලකරුවන් කල්පනා කළ යුත්තේ, එකම කට්ටියක් ඇවිත්, එකම සින්දු ටික භක්ති ගීත හෝ ගීතිකා ලෙස ගයමින්, ඊළඟ 9 වැනිදා වඩා හොඳින් ඉටිපන්දම් දැල්වීමේ උත්සවය පවත්වන්නේ කොහොමද කියා නොව, පීඩනයට පත්වූ ජනයා නැවත දිනාගනිමින් අලුත් ආකෘතීන් වලින් අරගලය දියත් කරන්නේ කොහොමද කියායි.
මෑත ඉතිහාසයේ අලුත්ම අරගලය පරණම තැනක හිරවෙන්නට පෙරයි මේ ටික කිව්වේ.
පරණ දේ අභාවයට යනවා. නව දේ උපදිනවා. සොයුරු සොයුරියනි, වහා අලුත් වෙන්න.!
– තාරක