සටහන – පුලී
ජූනි 09, LNW (කොළඹ): තිරයේ පහනක් වූ ඇය, කාලයේ ආලෝකයක් වූවාය; 99 වසරක් පුරා දිදුලන අයිරාංගනී සේරසිංහ නම් අමරණීය නාමය!

ජූනි 9.
අද දිනය දින දර්ශනයේ තවත් සාමාන්ය දිනයක් නොවීය.
සිංහල සිනමාවේ ස්වර්ණමය මතකයන් අතර සදාකාලිකව දිදුලන නාමයක් වූ අයිරාංගනී සේරසිංහ මහත්මියගේ 99 වැනි උපන්දිනය අදයි.
ඇය ගැන ලියන්නට පටන් ගත් විට මට සිහිපත් වන්නේ ඇය චරිත රඟපෑ නිළියක් නොව, චරිතවලට ආත්මයක් දුන් කලාකාරිනියක් ලෙසිනි. ඇතැම් රංගන ශිල්පීහු චරිත නිරූපණය කරති. නමුත් අයිරාංගනී නම් කලාකාමිනිය ඒ චරිත ජීවත් කළාය.
ඇය තිරය මත පෙනී සිටි විට වචනවලටත් පෙර කතා කළේ ඇගේ දෑසයි. සිනහවකින් සෙනෙහසත්, නිහඬ බැල්මකින් වේදනාවත්, එකම සංවාදයකින් මුළු ජීවිත කතාවක්මත් ප්රකාශ කළ හැකි අපූරු හැකියාවක් ඇයට හිමිව තිබුණි.

කාලය බොහෝ තාරකාවන් බිහි කරයි. එහෙත් යුග ගණනාවක් ගෙවී ගියත් මතකයේ රැඳෙන තාරකා ඉතා අල්පය. අයිරාංගනී සේරසිංහ ඒ දුර්ලභ ගණයේ ආලෝකයකි.
ඇයගේ නම මට තවත් විශේෂ වන්නේ වෙනත් හේතුවක් නිසාය. ඇය අධ්යාපනය ලැබුවේ මහනුවර උසස් බාලිකාවෙ හි ය. මාද ඉගෙන ගත්තේ එම පාසලේමය. අප අතර දශක ගණනාවක පරතරයක් තිබුණද, එකම පාසලක මංතීරු දිගේ ඇවිද ගිය බව සිතන විට හදවතට දැනෙන්නේ වචනවලින් විස්තර කළ නොහැකි ගෞරවයකි.
සමහරවිට ඇයද එදා එම පන්ති කාමරවලින් එකක කවුළුවකින් පිටත බලාගෙන සිහින දැක ඇති, සමහරවිට ඇයද පාසල් වේදිකාවක නැගී අනාගතය ගැන නොදන්නා කුඩා දැරියක් වී සිටින්නට ඇති, එහෙත් එම දැරිය පසුව මුළු ජාතියක ආදරය දිනාගත් කලා ලෝකයේ අතිශය ගෞරවනීය නාමයක් බවට පත්වනු ඇතැයි එදා කිසිවෙකු නොසිතන්නට ඇත. කිසිවෙකු විතරක් නොව ඇය ද නොසිතන්නට ඇත.
අයිරාංගනිය යනු සම්මානවලින් පමණක් මැනිය හැකි කලාකාරිනියක් නොවේ. ඇය යනු පරම්පරා කිහිපයක මතකවල ජීවත් වන හැඟීමකි. ඇය යනු තිරය මත මවක් වූ විට අපේම මවක් ලෙස දැනුණු උණුසුමකි. ඇය යනු කලාකාරිනියක වීමේ අර්ථය යළි යළිත් කියාදුන් පාඩමකි.
අද ඇයගේ 99 වැනි උපන්දිනයේදී මම ඇය සිහිපත් කරන්නේ සිනමා නිළියක් ලෙස පමණක් නොවේ.
මහනුවර උසස් බාලිකාවෙ හි හිටපු ශිෂ්යාවක් ලෙස, සිංහල සිනමාවට ආදරය කරන පොඩි කෙලි පොඩිත්තියක් ලෙස, සහ ශ්රී ලාංකේය කලාවේ අගය දන්නා කෙනෙකු ලෙස,
ඇය වෙනුවෙන් මගේ ගෞරවය පුද කරමිනි.
කාලය ගෙවී යයි,
පරම්පරා මාරු වෙයි,
තිර රූ වෙනස් වෙයි,
නමුත් සමහර ආලෝකයන් කිසිදා නිවී යන්නේ නැත.
අයිරාංගනිය ද ඒ ආලෝකයන්ගෙන් එකකි.
සුබ උපන්දිනයක්, සිංහල සිනමාවේ අමරණීය රන් අකුර!


