ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා කිසිදු දේශපාලන පළිගැනීමක් සිදුනොවන අතර අදටත් ජීවත්ව සිටිය යුතු දරුවන් සිය ගණනක් ඝාතනය කෙරුණු ඒ ඉතිහාසයට සාධාරණය ඉෂ්ට විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පැවසුවේය.
අපරාධය කර ඇත්තේ කුමන තරාතිරමක අයෙක් වුවද දඬුවම ස්ථිර බවත් නැවත මේ රටේ එවැනි තත්ත්වයන් ඇති නොවීමට අවශ්‍ය පසුබිම සකස් විය යුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
බලය රැක ගැනීම වෙනුවෙන් අපරාධ සිදුකරන, බෝම්බ පුපුරන සමාජය වෙනස් කිරීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුවට ජනතාව බලය දී ඇති බවත් ඒ අනුව එම ඉතිහාසයට යුක්තිය ඉටුවිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.
සුරේෂ් සලේට පමණක් වෙනම විශේෂයක් නොමැති බවත් මේ රටේ සාමාන්‍ය පුද්ගලයෙක් අපරාධයක් කර හිරේට ගියද පවතින්නේ එකම ස්වභාවයක් වන බවත් මේ මොහොතේ වෙනත් සමාජ මතයක් ගොඩනැගීමට උත්සහ කරන්නේ සුරේෂ් සලේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇතැයි විශ්වාස නොකළ හෙයින් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙන ලදී.
ඒ අනුව පවතින තත්ත්වය මත විමල් විරවංශ, උදය ගම්මන්පිල වැන්නන් සුරේෂ් සලේ නිදහස් කරගැනීමට මරාගෙන මැරෙන තැනට පත්ව තිබෙන බවද හෙතෙම කියා සිටියේය.
කෙසේවෙතත් අනාගතයේ එවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහාත්, ඝාතනය වූ ජීවිත වෙත සාධාරණය ඉටු කිරීම සඳහාත් පාස්කු අපරාධය සම්බන්ධයෙන් සියල්ල සෙවිය යුතු බව මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ අද (09) කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිට්වා ආපදාවෙන් අර්ධ හානි වුන නිවාස සදහා රු. ලක්ෂ 5 ක වන්දි ලබා දීමේ අවස්ථාව අමතමිනි.


