සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් අවසන් කිරීමේ ගිවිසුමක් අද(14)ඉරිදා අත්සන් කිරීමට නියමිත බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
සිය Truth Social සමාජ මාධ්‍ය සටහනක් මඟින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ, ගිවිසුමට එකඟ වූ පසු ප්‍රධාන නැව් මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය “සැමට විවෘත” වනු ඇති බවයි.
මෙම ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රධාන මැදිහත්කරුවෙකු වන පාකිස්තානය ද ගිවිසුම පැය 24ක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්, ඔවුන් ඉලෙක්ට්‍රොනික අත්සන් කිරීම සඳහා සූදානම් වෙමින් සිටින බවත් ප්‍රකාශ කර තිබුණු අතර මේ සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගයි විසින් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ නිශ්චිත දිනය ගැන අපට බලා සිටීමට සිදුවනු ඇති බවත්, එය හෙට නොවනු ඇති බවත් ප්‍රකාශ කර තිබිණ.
මෙම ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරානයේ විදේශ අමාත්‍ය සෙයිඩ් අබ්බාස් අරග්චි ඉරානයේ රාජ්‍ය රූපවාහිනිය හරහා ප්‍රකාශ කර තිබුණේ, එක්සත් ජනපදය සමඟ ගිවිසුම මගින් ලෙබනනයේ ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර ගැටුම අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ ඉරාන වරායන් සඳහා එක්සත් ජනපදය පනවා තිබූ අවහිරය ඉවත් කිරීම ද මෙම ගිවිසුමට ඇතුළත් බවත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා පසුව ආරම්භ වන බවත්ය.

