නෙතන්යාහුගේ දේශපාලන අනාගතය….

රෂිකා හෙන්නායක ජුනි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

2026 ජූනි මාසය වන විට, ඉශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය දේශපාලන දිවියේ අතිශය තීරණාත්මක මෙන්ම අවදානම් සහගත සන්ධිස්ථානයකට පැමිණ සිටී. දශක හතරකට ආසන්න කාලයක් ඉශ්‍රායල දේශපාලනයේ “නොනැසී පවතින එකම චරිතය” ලෙස විරුදාවලි ලැබූ ඔහුට, එළඹෙන ඔක්තෝබර් මහ මැතිවරණය ජය ගැනීම අරගලයක් බවට පත්ව ඇත.

“මමයි තීරණ ගන්නේ” – ඇමරිකානු බලපෑමේ නව මුහුණුවර

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බෙන්ජමින් නෙතන්යාහු අතර පවතින සමීප සබධතාවය දැන් විශාල වෙනසකට ලක්ව ඇත. ඉශ්‍රායලයේ යුද උපාය මාර්ග කෙරෙහි ට්‍රම්ප් පාලනය දැන් සෘජු අණසක පතුරවමින් සිටින්නේ ඇමරිකානු ආර්ථික වුවමනාවන් පෙරදැරි කරගෙනය. විශේෂයෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) නාවික කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉරානය සමඟ ඇති කරගත් සටන් විරාමය ආරක්ෂා කර ගැනීමට ට්‍රම්ප්ට අවශ්‍ය වී තිබේ.

2026 පෙබරවාරි 28 වැනිදායින් පසු නෙතන්යාහු සමඟ කිසිදු මුහුණට මුහුණ හමුවීමක් සිදු නොකළ ට්‍රම්ප්, එක් දුරකථන ඇමතුමකදී නෙතන්යාහු “පිස්සෙකු” (Crazy) ලෙස පවා හඳුන්වා ඇති බව වාර්තා වේ. ඉශ්‍රායලය මෙතෙක් කල් පවත්වාගෙන ගිය “ස්වාධීන මෙහෙයුම් බලය” දැන් මනඃකල්පිතයක් පමණක් බව තහවුරු කරමින් ට්‍රම්ප් ජුනි 7 වැනිදා කළ ප්‍රකාශය අතිශය බලගතුය.

“මමයි සියලුම තීරණ ගන්නේ. ඔහු නෙවෙයි තීරණ ගන්නේ.”

නෙතන්යාහු දැනට මුහුණ දී සිටින දරුණුතම උගුල වන්නේ ලෙබනන අර්බුදයයි. ඉශ්‍රායල මහජනතාවගෙන් 75%ක්ම ලෙබනනය දිගටම අත්පත් කරගෙන සිටීමට සහාය පළ කරන අතර, යුද්ධයට විරුද්ධ වන්නේ 10 දෙනෙකුගෙන් එක් අයෙකු (1 in 10) වැනි ඉතා සුළු පිරිසකි.

නමුත් ජූනි 18 වන දින ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම නෙතන්යාහුගේ අත් පා බැඳ දමා ඇත. එම ගිවිසුමේ සඳහන් “ලෙබනනයේ භූමිය සහ ස්වාධීනත්වය සුරැකීමේ” (Territorial integrity and sovereignty of Lebanon) වගන්තිය හරහා, ලෙබනනය තුළ සිදුකරන ඕනෑම හමුදා මෙහෙයුමක් ඇමරිකාව සහතික වූ ජාත්‍යන්තර ගිවිසුමක් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ලෙබනනයට ප්‍රහාරයක් එල්ල කිරීමට පවා වොෂින්ටනයේ අවසරය අවශ්‍ය වන මට්ටමට ඉශ්‍රායලය පත්ව ඇති අතර, මෙය නෙතන්යාහු සිය දක්ෂිණාංශික ඡන්දදායකයින් සහ ඇමරිකානු මිතුරා අතර අතරමං කර ඇති “දේශපාලන උගුලකි.”

වසර 40ක දේශපාලන ඉතිහාසයක් ඇති නෙතන්යාහුට මෙවර මැතිවරණය අඬු දෙකකට මැදි වූ සටනකි. එක් පසෙකින් 2023 ඔක්තෝබර් 7 ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ඔහු දක්වන අකමැත්ත හමුවේ ජනතාව දැඩි ලෙස කෝපයට පත්ව සිටිති. අනෙක් පසින් 2019 සිට පවතින දූෂණ චෝදනා ඔහු පසුපස හඹා එයි.

මෙය මැතිවරණ පරාජයක් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. පරාජය වුවහොත් ඔහුට සිදුවන්නේ සිය උත්කර්ෂවත් දේශපාලන දිවිය නිමවා බන්ධනාගාර ගත වීමටය. දේශපාලන විශ්ලේෂක නිම්රොඩ් ෆ්ලැෂන්බර්ග් පවසන පරිදි:

“නෙතන්යාහු සැබෑ කරදරයක වැටී සිටින බව පෙනේ.”

ඔක්තෝබර් මැතිවරණයට තව ඇත්තේ ඉතා කෙටි කාලයකි. විශ්ලේෂක ඩැනියෙල් ලෙවී පවසන පරිදි නෙතන්යාහු දැන් පසුවන්නේ අතිශය පීඩාකාරී මොහොතකය. ඔහු ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශ්වාසය දිනා ගැනීමට උත්සාහ කරමින් “විනාඩි කටුව” (Minute hand) දෙස අවධානය යොමු කරමින් සිටියද, ඔහුගේ දේශපාලන අවසානය සනිටුහන් කරමින් සෙමින් නමුත් ස්ථාවරව ගමන් කරන “පැය කටුව” (Hour hand) කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔහු වැළකී සිටියි.

එළඹෙන මැතිවරණයේදී ඉශ්‍රායලය තීරණය කළ යුත්තේ එක් දෙයකි: තම රටේ පරම ස්වාධීනත්වය මනඃකල්පිතයක් බවට පත් කළ, ඇමරිකාවේ “සේවාදායක රාජ්‍යයක්” බවට ඉශ්‍රායලය පත් කළ නෙතන්යාහුගේ යුගය අවසන් කරන්නේද, නැතහොත් තවදුරටත් ඔහු සමඟ මේ අවිනිශ්චිත අගාධයට ගමන් කරන්නේද යන්නයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...