මධ්යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබේ.
පෞද්ගලික හේතුවක් මත මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
කෙසේවෙතත් මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරක් මේ දක්වා ලැබී නොමැති අතර ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම භාරගැනීම හෝ නොගැනීම පිළිබඳව මේ දක්වා කිසිදු සඳහනක් කර නොමැති බවත් මහාචාර්ය සරත් අබේකෝන් මහතා පැවසීය.
මහාචාර්ය සරත් අබේකෝන් මහතා පේරාදෙණිය විශ්වවිද්යාලයේ උප කුලපති වශයෙන්ද කලක් සේවය කළ අයෙකි.
මධ්යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරය දැරූ මංජුලා මඩහපොල මහත්මිය පසුගියදා විශ්රාම යාම හේතුවෙන් මේ වනවිට මධ්යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධුරය ද පුරප්පාඩු වී පවතින අතර එහි වැඩබැලීම සඳහා මධ්යම පළාත් රාජ්ය සේවා කොමිසමේ ලේකම් ඉෂාන් විජේතිලක මහතා පත්කර ඇත.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් මහතා ද පසුගිය මැයි මාසයේදී තමන්ට ඉල්ලා අස්වීමට අවශ්ය බව ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණු අතර අනුපාප්තිකයකු පත්කරන තුරු ඔහු තවදුරටත් එම තනතුරේ කටයුතු කරමින් සිටී.


