කොළඹ LNW: ආණ්ඩුවට බන්ධනාගර සුබසිද්ධිය සඳහා සෘජු මැදිහත්වීමක් කිරීමට අවස්ථාව පැවතියද මිනිසුන් බන්ධනාගාර ගත කිරීම හැර සුබසාධනය ගැන අවධානය යොමු නොකළ බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසයි.
මේ වන විට හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි මන්ත්රීවරයා සඳහන් කරන්නේ.
මන්ත්රීවරයා මේ බව ප්රකාශ කළේ අද (16) දින නෙළුම් මාවත ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්යවේදීන් නැගූ ප්රශ්නවලට පිලිතුරු දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
”ආණ්ඩුව බන්ධනාගාර සුබසිද්ධිය සඳහා සුබසාධනය සඳහා සෘජු මැදිහත්වීමක් කරන්න මීට පෙර අවස්ථාවන් ගණනාවකදීම තිබුණා. හැබැයි ඒ කිසිම අවස්ථාවක ආණ්ඩුව මිනිස්සු බන්ධනාගාරගත කිරීම සහ රිමාන්ඩ් කිරීම හැරුනකොට, ඒවා ඇතුලේ ඉන්න අයගේ සුබසාධනය පිළිබඳව අවධානය යොමු කළේ නෑ. දැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින් තියෙනවා.රැඳවියන් අටසියයකට ඉන්න පුළුවන් බන්ධනාගාරවලට හාරදහසක් දානවා. ඉතින් හාරදහසක් දැම්මම පැහැදිලිවම ඒක ඇතුලේ හාරදහසකට ඉන්න බෑ.
ඒ වගේම අනිත් පැත්තෙන් දැන් මේ වෙනකොට අපි දැක්කා ඔය සිද්ධිය හා සම්බන්ධයෙන්, සිද්ධිය වගේම බන්ධනාගාර ඇතුලේ වසංගත තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා කියලා රැඳවියන්, කාන්තා බන්ධනාගාර රැඳවියන්ගේ උද්ඝෝෂණයකුත් තිබ්බා. ඉතින් හැමතැනම මාධ්ය සංදර්ශන දාන්න හෝ ආණ්ඩුවේ වෙනත් උපක්රමයක්, වෙනත් වෙනත් ප්රචාරක වැඩසටහනක් හරහා තමන්ගේ දේශපාලන වාසිය ලබාගන්න දිනෙන් දින පුද්ගලයෝ රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඒක දේශපාලනික වශයෙන් වෙන්න පුළුවන්, නැත්නම් සමාජයේ අනිත් අය වෙන්න පුළුවන්.
ඉතින් ආණ්ඩුව කළ යුත්තේ මේ වෙලාවේ මේකට පැහැදිලිව මැදිහත් වෙන්න ඕනේ. ඉතින් මේ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් පහුගිය දිනවල, පහුගිය කාලසීමාවලත් අපි පාර්ලිමේන්තුවේත් මේ ගැන කතා කරලා තියෙනවා. ඉතින් එක පැත්තකින් රස පරීක්ෂක වාර්තා එන්න අවුරුදු ගානක් යනවා. ඉතින් රස පරීක්ෂක වාර්තා එනකන් බොහෝ අය නිකන් රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්න සිද්ධවෙලා තියෙනවා. වාර්තාව එනකොට සමහරුන්ගේ ඒවායේ මත්ද්රව්ය ඇත්තෙත් නෑ. හැබැයි ඉතින් ඒ කාලසීමාව ඇතුලේ මේ බන්ධනාගාර පිරෙනවා. ඉතින් බන්ධනාගාර කාර්ය මණ්ඩලයත් නෑ. නිලධාරීත් නෑ. එක්කෝ නිලධාරී ටික දෙන්න ඕනේ, යටිතල පහසුකම් ටික හදලා දෙන්න ඕනේ. ඉතින් ඒවා හදන්නේ නැතුව ආණ්ඩුව හැමදාම පොලිසිය ලව්වා, පොලිසියේ මත්ද්රව්ය වැළැක්වීම කියන කාරණය මත, කැම්පේන් එක මත අත්අඩංගුවට අරගෙන පොලිසියෙන් දක්වන කරුණු මත තමයි අධිකරණය ක්රියාත්මක වෙන්නේ. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත වෙනවා. ඉතින් මේ තත්ත්වයට ආණ්ඩුව පැහැදිලිවම වගකියන්න ඕනේ සහ ආණ්ඩුව මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ.”


