ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:2026 වසරේදී අපනයන ක්ෂේත්රය සුවිශේෂී වර්ධනයක් අත්පත්කරගෙන ඇති අතර ඒ අනුව, 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 9,012.24 ක් ලෙස ඇස්තමේන්තු කර සති බව ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
එහි සභාපති මංගල විජේසිංහ පවසන්නේ මෙය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 8 % ක වර්ධනයක් බවයි.
මෙරට අපනයන ක්ෂේත්රයේ කැපී පෙනෙන ක්ෂේත්රය ලෙස තවදුරටත් ඇගළුම් පවතින අතර ප්රධානම විදෙස් වෙළෙඳපොළ එක්සත් ජනපදයයි.
2026 පළමු මාස හය තුළ භාණ්ඩ අපනයන ආදායම 2025 වසරේ පළමු මාස හයට වඩා 8.95 % කින් වර්ධනය වී තිබෙන අතර එම ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 7,073.31 ක් ලෙස දැක්වෙයි. එමෙන්ම අදාළ කාලය තුල සේවා අපනයන අංශය ද සියයට 4.49 ක ප්රගතියක් අත්කර ගනිමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,938.94 ක ආදායමක් උපයා ඇත.
විශේෂයෙන්ම, 2026 ජූනි මාසය ඉහළ අපනයන සාර්ථකත්වයක් අත්කරගත් මාසයක් ලෙස කැපී පෙනෙන බවයි ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ.
එහිදී සමස්ත අපනයන ආදායම 2025 ජූනි මාසයට සාපේක්ෂව සියයට 12.53 කින් වර්ධනය වී ඇති බවත් ආදායම ඩොලර් මිලියන 1,658.62 ක් බවත් දැක්වෙයි. මෙහිදී, භාණ්ඩ අපනයනය ඩොලර් මිලියන 1,314.10 ක් (සියයට 15.09 ක වර්ධනයක්) සහ සේවා අපනයනය ඩොලර් මිලියන 344.52 ක් (සියයට 3.75ක වර්ධනයක්) ලෙස සටහන් වන බව අපනයන සංවර්ධන මණ්ඩලය තවදුරටත් පෙන්වා දෙයි.



