සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ අගමැති සනේ ටකයිචි (Sanae Takaichi) තමන් දිනකට පැය තුනක් පමණක් නිදාගත්තද අගමැතිවරිය ලෙස සිය රාජකාරි කාර්යක්ෂමව ඉටු කළ හැකි බව පවසා තිබීම මේවන විට කතාබහට ලක්ව ඇත.
ජපාන මාධ්යයක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, වැදගත් වන්නේ නින්දේ කාලය නොව එහි ගුණාත්මකභාවය බවත් ප්රමාණවත් ගුණාත්මක නින්දක් ලැබෙන්නේ නම් කෙටි කාලයක් නිදාගැනීමෙන් පවා දෛනික කටයුතු සිදු කළ හැකි බවත් ය.
කෙසේ වෙතත්, මෙම ප්රකාශය සමාජ මාධ්ය ඔස්සේ දැඩි සංවාදයකට ලක්ව තිබේ. බොහෝ සෞඛ්ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ වැඩිහිටියන්ට සාමාන්යයෙන් දිනකට පැය 7ත් 9ත් අතර නින්දක් අවශ්ය වන අතර, දිගුකාලීනව පැය තුනක් පමණක් නිදාගැනීම සෞඛ්යයට අහිතකර බලපෑම් ඇති කළ හැකි බවයි. විශේෂඥයන්ට අනුව, නින්දේ හිඟය හෘද රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව, ප්රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම සහ මානසික ආතතිය ඇතුළු සෞඛ්ය ගැටලු රැසක අවදානම ඉහළ නංවයි.
ටකයිචිගේ ප්රකාශයත් සමඟ ජපානයේ දිගු කලක් තිස්සේ පවතින අධික වැඩ සංස්කෘතිය පිළිබඳ සංවාදය ද නැවත අවධානයට ලක්ව තිබේ. අධික වැඩ බර හේතුවෙන් ඇතිවන මරණ හැඳින්වීමට භාවිත කරන “කරෝෂි” (Karoshi) යන පදය ද මේ සමඟ නැවත කතාබහට ලක්ව ඇත.
මේ අතර, වෛද්ය විශේෂඥයන් අවධාරණය කරන්නේ, රාජ්ය නායකයන් ඇතුළු සියලු දෙනාගේ ශාරීරික හා මානසික සෞඛ්ය සඳහා ප්රමාණවත් නින්ද අත්යවශ්ය බවයි.

