රෂිකා හෙන්නායක ජූලි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉන්ෆැන්ටිනෝ ලෝක කුසලාන විවේචන ප්රතික්ෂේප කරයි
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ස්පාඤ්ඤයේ ජයග්රහණයෙන් නිමාවට පත් වූවත්, පිටියෙන් පිටත ඇති වූ උණුසුම තවමත් පහව ගොස් නැත. අවසන් මහා තරගයෙන් පසු FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ විසින් නිකුත් කරන ලද විවෘත ලිපිය සැබෑ ‘ප්රතිප්රහාරයක’ ස්වරූපයක් ගෙන තිබේ.
ඉන්ස්ටග්රෑම් හරහා නිකුත් කළ සිය ලිපියෙන් ඉන්ෆැන්ටිනෝ ප්රධාන වශයෙන් ඉලක්ක කළේ මාධ්ය සහ විවේචකයන්ය. තරගාවලියේ සාර්ථකත්වය දැකීමට නොහැකි තරමට ඔවුන් වෛරයෙන් පිරී සිටින බව ඔහු චෝදනා කළේය.
ඔහුගේ ලිපියේ මෙසේ සඳහන් විය:
“ඔබ වෛරයෙන් සහ විවේචනයෙන් කෙතරම් වෙළී සිටියාද යත් ඔබට මේ සියල්ල මග හැරුණි. පෑන සහ කඩදාසිවලට මුවා වී, තිරය පිටුපස සිට වෛරය සහ අසත්ය කටකතා පතුරවන අයට මා පැවසීමට කැමති වන්නේ, ඔබ පිටුපසට වී සිටින විට අප FIFA හි පෙරමුණේ සිට වෙහෙස මහන්සි වී ලෝකයේ හොඳම සංදර්ශනය පවත්වන බවයි.”
මෙහි ඇති වඩාත්ම උත්ප්රාසාත්මක කරුණ නම්, තරගාවලිය සියයට සියයක් ආරක්ෂිත බවත් කිසිදු සිදුවීමක් වාර්තා නොවූ බවත් ඉන්ෆැන්ටිනෝ පවසන මොහොතේම, නිව් ජර්සි හී පැවති අවසන් මහා තරගයෙන් පසු ආර්ජන්ටිනා සහ ස්පාඤ්ඤ ක්රීඩකයන් අතර පිටිය මැද ඇති වූ දරුණු ගැටුම (On-pitch altercation) පිළිබඳව FIFA ආයතනයම විමර්ශනයක් ආරම්භ කර තිබීමයි.
මෙම තරගාවලිය තුළ FIFA ආයතනය දේශපාලනය සමඟ ඇති කරගත් සබඳතාව බරපතල ප්රශ්නාවලියක් මතු කරයි. විශේෂයෙන්ම ඇමරිකානු ක්රීඩක ෆොලාරින් බලෝගුන්ට පනවා තිබූ රතු කාඩ්පත් තහනම ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් කළ මැදිහත්වීම සහ ඊට FIFA දක්වන ලද ප්රතිචාරය විවේචකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.
‘FairSquare’ නමැති මානව හිමිකම් සංවිධානය මේ සම්බන්ධයෙන් ජාත්යන්තර ඔලිම්පික් කමිටුවට (IOC) නිල වශයෙන් පැමිණිලි කළේ, ඉන්ෆැන්ටිනෝ ඔලිම්පික් ප්රඥප්තියේ සඳහන් ‘දේශපාලන මධ්යස්ථභාවය’ පිළිබඳ මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව පවසමිනි. කෙසේ වෙතත්, මෙය තමන්ගේ බල සීමාවෙන් බැහැර වූවක් බව පවසමින් ඔලිම්පික් කමිටුව එම පැමිණිල්ල බැහැර කළේය.
ඉන්ෆැන්ටිනෝ මෙම තරගාවලිය “ලෝකය එක්සත් කරන සාමකාමී උත්සවයක්” ලෙස හඳුන්වද්දී, ඉරාන කණ්ඩායමට අත්විඳීමට සිදු වූයේ ඛේදජනක තත්ත්වයකි. මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ ඉරාන කණ්ඩායමට සිය පුහුණු කඳවුර ඇරිසෝනා සිට මෙක්සිකෝවේ ටිජුවානා දක්වා මාරු කිරීමට සිදු විය.
ඉරාන ප්රධාන පුහුණුකරු අමීර් ගැලෙනොයි මෙම තත්ත්වය හමුවේ තම කණ්ඩායම ලෝක කුසලානයේ සිටි “වඩාත්ම පීඩිත” කණ්ඩායම ලෙස විස්තර කළේය. ඉන්ෆැන්ටිනෝ පවසන “පහසු සංචාර” සහ “එක්සත්කම” ඉරාන ක්රීඩකයන්ට හුදු වචන පමණක් විය.
ලෝක කුසලාන සංවිධාන ශක්තිය ගැන පුරසාරම් දොඩන ඉන්ෆැන්ටිනෝ, සංචාරක සීමා නිසා ඇති වූ අවහිරතා අවතක්සේරු කිරීමට උත්සාහ කළේය. වලංගු වීසා තිබියදීත් සෝමාලියානු විනිසුරු ඕමාර් අබ්දුල්කාදිර් අර්තාන්ට ඇතුළුවීම තහනම් කිරීම එක් උදාහරණයක් පමණි.
හයිටි රාජ්යයේ අර්බුදකාරී වාතාවරණය මෙන්ම කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ (DRC) පැතිර ගිය එබෝලා වසංගතය වැනි විවිධ සෞඛ්ය සහ දේශපාලන හේතු මත බොහෝ රටවල රසිකයන්ට සහ නිලධාරීන්ට වීසා බාධා පැන නැගුණි. මිලියන ගණනකට වීසා ලැබුණු බව පවසමින් ඉන්ෆැන්ටිනෝ මෙම බරපතල ගැටලු “අතළොස්සකට සීමා වූ” ඒවා ලෙස බැහැර කිරීම විමතියට කරුණකි.
ආර්ජන්ටිනාව සහ ඊජිප්තුව අතර තරගයේදී මතු වූ විනිසුරු ගැටලු සාධාරණීකරණය කිරීමට සභාපතිවරයා උත්සාහ කළේ අමුතුම තර්කයකිනි. මෙවැනි වැරදි ලොව ප්රධාන පෙළේ ලීග් තරගාවලි වල සාමාන්ය දෙයක් බවත්, එම ක්රමවේද අනුගමනය කරන රටවල්ම FIFA විවේචනය කිරීම විහිළුවක් බවත් ඔහු පැවසීය. මෙය සෘජුවම බටහිර ප්රධාන පාපන්දු ලීග් ඉලක්ක කර ගනිමින් එල්ල කළ “තමන්ගේ ඇසෙහි ඇති පොල් පරාලය නොදැකීම” වැනි චෝදනාවකි.


