කොළඹ LNW:මීගමුව ආසන්න මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්වීම හේතුවෙන් එහි සිටි ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෙම අනතුරට පත් ධීවරයින් සෙවීමේ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද යොදවා ඇති අතර එලෙස අනතුරට පත්ව ඇත්තේ ඊයේ (31) පස්වරුවේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ඩිංගි යාත්‍රාවක් බව සඳහන්.
එම යාත්‍රාව අනතුරට ලක්ව ඇති බව මුලින්ම අනාවරණය වී ඇත්තේ වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් කරන ලද දැනුම්දීමකට අනුවය.
මෙම සිදුවීමෙන් පසු සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය තවත් ධීවර යාත්‍රා 3ක් අතුරුදන්ව ඇති බවට අනාවරණය වී තිබේ.
මේ වන විට අනතුරට ලක්වූ එක් යාත්‍රාවක සිටි ධීවරයෙකුගේ මළ සිරුරක් මීගමුව වෙරළ තීරයට ගොඩගසා ඇති අතර, එම යාත්‍රාවේම ගමන් කළ තවත් ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.
අතුරුදන් වූ ධීවරයින් සහ යාත්‍රා සෙවීම සඳහා නාවික හමුදාව සතු ඩෝරා යාත්‍රාවක් හා විශේෂ කිමිදුම්කරුවන් කණ්ඩායමක් ද යොදවා ඇති අතර ගුවන් හා නාවික අංශ එක්ව මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
දිවයිනට බස්නාහිර දෙසින් පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය සහ සුළඟේ වේගය ඉහළ යාම හේතුවෙන් යාපනය සිට මන්නාරම, පුත්තලම, හලාවත, මීගමුව, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙන අතර මේ හේතුවෙන් ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල වෙරළාසන්න රැකියාවේ නිරත වන කුඩා සහ එක්දින ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු ධීවර රැකියාව සඳහා පිටත්ව යාම අතිශය අවදානම් බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි එම කටයුතුවලින් බැහැර වන ලෙසත්, මේ වන විට මුහුදු ගොස් සිටින යාත්‍රා ඇත්නම් කඩිනමින් හා ආරක්ෂිතව ගොඩබිම වෙත පැමිණෙන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා දැනුම් දී සිටියි.


