රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ මිලදී ගැනීම්වල අක්‍රමිකතා එලියට!

Date:

වත්මන් ආර්ථික අර්බුදය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝගීන් රැකබලා ගැනීම සහ රෝග ව්‍යාප්තිය වැළැක්වීම ඇතුළු කටයුතුවලට අදාළව ශ්‍රී ලංකාවට අවශ්‍ය තරම් ඖෂධ ගෙන්වා ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අසමත් වී ඇති බව විශේෂ විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාවකින් අනාවරණය වෙයි.

මෙයට ප්‍රධාන හේතුව ලෙස තහවුරු වූයේ නිසි කාලසටහනකට අනුව ඖෂධ ප්‍රසම්පාදනයක් සිදු කිරීමට සංස්ථාව අසමත් වීම සහ  ඖෂධ ප්‍රසම්පාදන ඇණවුම්වල ප්‍රගතිය සහ ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳව  නිරන්තර සෙවීමේ ක්‍රියාවලියක් සිදු නොවීමයි.

එමෙන්ම දේශීය වෙළඳපොලෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇණවුම් කරන ලද වෛද්‍ය සැපයුම් සඳහා 2022 අප්‍රේල් මාසය වන විට සැපයුම්කරුවන්ට, මහජන බැංකුවට සහ ලංකා බැංකුවට රු. බිලියන 4.28 ක් පමණ ගෙවීමට සිදුව ඇති බව විගණන වාර්තාවෙන් තවදුරටත් අනාවරණය විය.

මේ අනුව, සැපයුම්කරුවන්ට රු. බිලියන 3.11 කුත්, මහජන බැංකුවට රු. මිලියන 920කුත්, සහ ලංකා බැංකුවට රු. මිලියන 250කුත් ආදී වශයෙන් ගෙවිය යුතු මුළු මුදල සටහන් වෙයි.

විගණකාධිපතිවරයාට සංස්ථාවෙන් ලබා දී ඇති තොරතුරු අනුව, 2022 මැයි 25 වන විට මුළු මූල්‍ය අවශ්‍යතාවය රු. මිලියන 23,123 කි.

2022 අප්‍රේල් 20 වන විට සැපයුම්කරුවන්ගේ ගෙවීම්, වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) ආනයන හා ඇණවුම් වල නිෂ්කාශන සඳහා ණයවර ලිපිවලට රු. මිලියන 7,135 ක් ද, වෛද්‍ය සැපයුම් සඳහා වන බැංකු අයිරා පියවීම සඳහා රු. මිලියන 15,988 ක් ද සංස්ථාව විසින් යොදවන ලදී.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමටත්, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එවන ලද ලිපිගොනුවලට අදාළ ක්‍රියාකාරකම් ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් අදාළ නිලධාරීන්ට වගකීම පැවරිය යුතු බවටත් එම විගණන වාර්තාව නිර්දේශ කර ඇත.

එමෙන්ම එය නිසි ප්‍රසම්පාදන සැලසුමකට හා කාලසටහනකට අනුව අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවට සහ කැබිනට් ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කළ යුතු බවට පෙන්වා දී ඇත.

විධිමත් පාලනයක් සඳහා සෑම වෛද්‍ය සැපයුමක් සඳහාම මාස 03 ක ආරක්ෂිත තොගයක් පවත්වා ගත යුතු අතර, ප්‍රසම්පාදන කාලය මාස 11 ක් පමණ වන නමුත් මාස 06 ක ආරක්ෂිත තොගයක් පවත්වා ගැනීම සුදුසු බව එම වාර්තාවේ සඳහන් වේ.

තවද ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැතිකම සහ අධික පිරිවැය හේතුවෙන් ප්‍රසම්පාදන කාලය අවම කර ගනිමින් සුරක්ෂිත තොග මට්ටම අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම එම වාර්තාව හරහා නිර්දේශ කෙරේ.

සැපයුම් සඳහා අවශ්‍ය වන කාලය අඩු කිරීම සඳහා තොග නැවත ඇණවුම් කරන ආකාරයේ ඇණවුම් පද්ධතියක් (re-order stock level based ordering system) ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු බව ද විගණකාධිපති වාර්තාව යෝජනා කර ඇත. තව ද, මීට අදාළ පරිගණක පද්ධති නිසිපරිදි යාවත්කාලීන කළ යුතු බව ද පෙන්වා දී ඇත.

ඕවින්දි විශ්මිකා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...