පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම තොරතුරු කුමන්ත්‍රණකාරී ලෙස සඟවමින් යුධ හමුදා බුද්ධි අංශය එම ප්‍රහාරය සිදුවීමට ඉඩහැර නිහඬව බලාසිට ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (15) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ කළේය.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව එහි සාක්ෂි සැඟවීම සඳහා යුධ හමුදාවේ යම් පිරිසක් විසින් අදාළ ත්‍රස්තවාදී සංවිධානයේ 16 දෙනෙකු සයින්දමරුදු හිදී සමූල ඝාතනය කරන ලද්දේදැයි සැකයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳව ද විමර්ශන සිදුකරන බවයි දිලීප පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

“ස්වාමිනි, යුද හමුදා බුද්ධි අංශය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන බවට පූර්ව දැනුවත්වීමක් සහිතව චේතනාන්විතව එය වීමට ඉඩහැරිය බවට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා. ස්වාමිනි, යුධ හමුදා බුද්ධි අංශයට අයත් පළමු සන්නද්ධ බුද්ධි බලකාය තියෙනවා වව්නියාවේ. ඊට තොරතුරු සපයපු කම්බියන් තවලන් නැමැත්තෙක්ගෙන් අපි මේ වෙද්දි ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඔහුට ඉන්දියාවේ රහස් ඔත්තු සේවා එක්ක සම්බන්ධතා තිබී තිබෙනවා. මේ තොරතුරුකරු 2014 වර්ෂයේ ඉඳලාම ප්‍රහාරයට අදාළ අන්තවාදීන් ගැන යුද්ධ හමුදාවට තොරතුරු දී තිබෙනවා. පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පෙරත් නිෂ්චිත දැනුම්දීමක් කරලා තිබෙනවා. නමුත් යුද්ධ හමුදා බුද්ධි ඒකකය මේ පිළිබඳ සම්පූර්ණයෙන් නිහඬව ඉඳලා. ප්‍රහාරයට පෙරදිනත් තොරතුරුකරු මේ ගැන කියනවා. නමුත් බුද්ධි අංශය ඒවා අනෙකුත් ආරක්ෂක අංශ සමඟ සන්නිවේදනය කරන්නේ නැහැ.

” ස්වාමිනි, සහරාන්ව ආරක්ෂා කරලා ඒ හරහා ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් ආරක්ෂා කරන්න යුධ හමුදා බුද්ධි අංශයේ සංවිධානාත්මක පිරිසක් දැඩි අවශ්‍යතාවයකින් කටයුතු කර තිබෙනවා. ඒ නිසයි වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනය පිළිබඳ විමර්ශන නොමඟ යැව්වේ. මුලින් වව්නතිව් ප්‍රහාරය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් කළ බව යුද්ධ හමුදා බුද්ධි අංශය කියා තිබුණත්, ප්‍රහාරයට පෙර අප්‍රේල් 12 වැනිදා ගිරිතලේ බුද්ධි කඳවුර භාරව හිටපු කර්නල් මද්දුමගේ එය කළේ සහරාන් කියලා ලිඛිතව දැනුම් දී තිබෙනවා. යුද්ධ හමුදා බුද්ධි අංශයේ මේ තොරතුරු සඟවපු සියලු දෙනාම සුරේෂ් සලේගේ ගෝලයෝ.”

“ස්වාමිනි, මේ ප්‍රහාරකයන්ට ආධාර අනුබලදුන් තවත් දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි පාස්කු ප්‍රහාරයට අදාළව නම කියවුණු රිෂාඩ් බදියුදීන්. ඔහු තමයි දේශපාලන රැකවරණය දෙන්නේ. ඒ වගේම අනිත් තැනැත්තා තමයි මන්නාරමේ ව්‍යාපාරිකයෙක් වන අලව්දීන් නැමැත්තා. ඔහු සහරාන් සමඟ ෂැන්ග්‍රීලා බෝම්බය පුපුරුවාගත් ඉන්ෂාෆ් අහමඩ්ගේ මාමණ්ඩිය. ඔහුගේ දියණිය සමඟ තමයි ත්‍රස්තවාදීයා විවාහ වෙලා හිටියේ. මේ අලව්දීන් නැමැති ව්‍යාපාරිකයාට අයත් Speed Boat යොදාගෙන ප්‍රහාරයට පෙර අවස්ථා කිහිපයකදී සහරාන්ලා ඉන්දියාවට ගිහින් තියෙනවා.

ඒ වගේම ත්‍රස්ත ප්‍රහාරක ඉන්ෂාෆ් සමඟ විවාහ වී සිටී අලව්දීන්ගේ දියණිය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රැඳවුම් නියෝග මත සිටියදී, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ නිදහස් කරලා තියෙනවා. මොකද ඊට හේතුව තමයි ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට ආධාර කරලා තියෙන්නේ ඔය කියන අලව්දීන්.

ඒ අනුව මේ සියලු කුමන්ත්‍රණ වහන්නයි ප්‍රහාරයෙන් පසු සලේව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ කළේ. සලේ ඇතුළු දේශපාලන රැකවරණය දෙන අය ප්‍රධාන කුමන්ත්‍රණකරුවන් සැඟවූ බව අපි නොවෙයි කලින්ම කිව්වේ. වත්මන් විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරු ව්‍යවස්ථාදායකයේදීයි ඒ ගැන කලින්ම කිව්වේ. ඔවුන් සියලුදෙනාගෙන් අපි ඉදිරියේදී ප්‍රකාශ සටහන් කරගන්නවා.”

” ඒවගේම, එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අන්තවාදී අංශයේ පොලිස් පරීක්ෂක රංජන් සෙනරත් බණ්ඩාර පාස්කු ප්‍රහාරයට පෙර අන්තවාදීන් 94 දෙනෙකුගේ නම් ඇතුළත් ලේඛනයක් එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට යවා තිබෙනවා. එහි ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන්, රිල්වාන් වගේ දැනට මහාධිකරණ නඩුවේ ඉන්න සැකකරුවන්ගේ නම් තියෙනවා. පසුව නිලන්ත ජයවර්ධන උපදෙස් දී තිබෙනවා ඒ පිළිබඳ වැඩිදුර සොයාබලන්න කියලා. ඒ අනුව එම අංශයේ පොලිස් පරීක්ෂක රංජන් සෙනරත් බණ්ඩාර සහරාන්ගේ සහෝදරයින් වන ශෙයිනි හා රිල්වාන්ව හමුවෙන්න ගිහින් Chat එකක් දාලා, සතුටු සාමිච්චියේ යෙදිලා ඇවිල්ලා. ඔවුන්ව එම අවස්ථාවේ අත්අඩංගුවට ගත්තානම් පාස්කු ප්‍රහාරය සිදුවන්නේ නැහැ. ඒ නිසා යුද්ධ හමුදා බුද්ධි අංශය වගේම රාජ්‍ය බුද්ධි සේවයේ කණ්ඩායමකුත් ප්‍රහාරය පිළිබඳ දැනගෙන තොරතුරු වසන් කළ බව පැහැදිලියි.

ඊළඟට ස්වාමිනි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පස්සේ අප්‍රෙල් 27 වැනිදා සයින්දමරුදුවලදී ත්‍රස්තවාදීන්ගේ සමීපතමයින් 16ක් මියගියා. ඔවුන් ඔක්කෝම මරාගෙන මැරුණේ නැහැ. පැහැදිලිව කිහිපදෙනෙක් හෝ අත්අඩංගුවට ගන්න තිබුණා. නමුත් එම අවස්ථාවේ සයින්දමරුදු ප්‍රදේශය භාරව සිටියේ යුද්ධ හමුදාව. ඒ අනුව යුද්ධ හමුදාවේ යම් පිරිසක් ඉතාම සංවිධානාත්මකව සත්‍ය තොරතුරු අනාවරණය වීම වැළැක්වීමට 16 දෙනෙක්වම සමූල ඝාතනය කළාදැයි සොයන්න විමර්ශන කරනවා”

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...