රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW :
කෘත්‍රිම බුද්ධිය (AI) හඳුන්වා දීම මගින් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට සහාය වීමට චීන රජය සැලසුම් කර ඇත.
මේ පිළිබඳව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වෙයි හුවාෂියැං (Wei Huaxiang) අතර සාකච්ඡාවක් පැවැත්විණි.
දූෂණය අවම කිරීම සඳහා වත්මන් රජය ගෙන ඇති පියවර, ‘ඊ-අධිකරණ’ (e-Court) ව්‍යාපෘතිය, අධිකරණ පද්ධතියට ‘හඬ-අකුරු බවට පරිවර්තනය කිරීමේ’ (voice-to-text) තාක්ෂණය හඳුන්වා දීම, අධිකරණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, බන්ධනාගාරවල තදබදය අවම කිරීමේ පියවර සහ නඩු කටයුතු සඳහා අදාළ සාක්ෂි භාණ්ඩ (exhibits) බැහැර කිරීමේ ක්‍රියා පටිපාටි ඇතුළු අධිකරණ ප්‍රතිසංස්කරණ රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
චීනයේ අධිකරණ පද්ධතිය තුළ ඩිජිටල්කරණය සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බව චීන තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
දෙරට අතර පවතින මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය මත පදනම්ව, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් සඳහා අඛණ්ඩව සහාය දැක්වීමට ද දෙපාර්ශ්වය එකඟ වූ බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.


