පාලකයාටත්,දේශපාලනඥයාටත්,රාජ්‍ය නිලධාරියාටත්,සාමාන්‍ය පුරවැසියාටත් නීතිය එකයි – අධිකරණ ඇමති

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:පාලකයාටත්, දේශපාලනඥයාටත්, රාජ්‍ය නිලධාරියාටත්, සාමාන්‍ය පුරවැසියාටත් නීතිය එකයි යන්න මතක තබාගත යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බඳවා ගත් 265 දෙනෙකුගෙන් සමන්විත 13 වන ආධුනික දෙවන පෙළ ජේලර් හා 105 වන ආධුනික නියාමක පුහුණු පාඨමාලා ද්විත්වයේ නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමිනි.

ආධුනික නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවය සහ පෙළපාලිය අගුණකොලපැලැස්ස බන්ධනාගාර පුහුණු ආයතන ක්‍රිඩාංගණයේ අද (19) පෙරවරුවේ පැවැත්විය.

දඬුවමෙන් පමණක් සමාජයක අපරාධ ප්‍රශ්නය විසඳිය නොහැකි අතර බන්ධනාගාර ප්‍රතිපත්තිය දඬුවමෙන් අවසන් නොවී නිවැරදි කිරීම, පුනරුත්ථාපනය සහ නැවත සමාජගත කිරීම දක්වා ගමන් කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

”පුද්ගලයන් යහමගට ගැනීමට නීත්‍යානුකූල බලය ලැබෙන්නේ සමාජයේ සීමිත පිරිසකට පමණයි. ඒ නිසා ඔබේ රාජකාරිය දකින්නේ “මුරකිරීම” පමණක් නොවෙයි. මනුෂ්‍යයෙකුගේ ජීවිතය නැවත යහපත් මාර්ගයකට යොමු කිරීමට සහය වන්නකු ලෙසයි. ඔබේ වෘත්තියේ සැබෑ අභිමානය තියෙන්නේ එතැනයි. රාජ්‍ය සේවයේ සිටින අප හැමෝම මතක තබාගත යුතු මූලික කරුණක් තිබෙනවා. නීතිය කාටත් එක හා සමානයි. පාලකයාටත් එකයි. දේශපාලනඥයාටත් එකයි. රාජ්‍ය නිලධාරියාටත් එකයි. සාමාන්‍ය පුරවැසියාටත් එකයි.

නීතියේ ආධිපත්‍යය කියන්නේ බලය තිබෙන පුද්ගලයාට වෙනම නීතියකුත්, බලය නැති පුද්ගලයාට වෙනම නීතියකුත් තිබීම නොවෙයි. සියලු දෙනාට නීතිය සමානව ක්‍රියාත්මක වීමයි. එම විශ්වාසය රාජ්‍ය ආයතන කෙරෙහි ජනතාවගේ විශ්වාසය ගොඩනගන මූලික පදනමක්. ඒ නිසා ඔබට අවශ්‍ය වන්නේ දේශපාලන සම්බන්ධතාවයක් නොවෙයි. බලපෑමක් නොවෙයි.

ඔබට අවශ්‍ය වන්නේ නීතිය පිළිබඳ විශ්වාසය හා ඔබේ රාජකාරිය පිළිබඳ අවංකභාවයයි. ඔබ අද භාරගන්නා නිල ඇඳුම ඒ වගකීමේ සංකේතයක්. අප මතක තබාගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. අපරාධයක් සිදුවූ විට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එය අත්‍යවශ්‍යයි. නමුත් දඬුවමෙන් පමණක් සමාජයක අපරාධ ප්‍රශ්නය විසඳන්න බැහැ. බන්ධනාගාර ප්‍රතිපත්තිය දඬුවමෙන් අවසන් නොවී නිවැරදි කිරීම, පුනරුත්ථාපනය සහ නැවත සමාජගත කිරීම දක්වා ගමන් කළ යුතුයි.‍

යමෙක් බන්ධනාගාර ගතවන්නේ තමන්ගේ වැරැද්දක් පමණක්ම නොව දීර්ඝ කාලයක් සමාජ ආර්ථික පද්ධතියේ පැවති පැවති වැරැද්දක් නිසා. සමාජය වෙනස් නොකර අපට බන්ධනාගාර පමණක් පාරිශුද්ධ ස්ථාන කරන්න බැහැ. ‍බන්ධනාගාරයෙන් පිටවන පුද්ගලයා නැවතත් අපරාධයකට යොමු වන තත්ත්වයකට පත් කරනවා වෙනුවට, ඔහුට නැවත ජීවිතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය හැකියාව ලබාදීම වැදගත් වෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...