රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW :
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාගේ නිදහස තහවුරු කරගැනීමට හෝ මරණ දඬුවම ලිහිල් කරගැනීම සඳහා නීතිමය මාර්ගයන් අනුගමනය කිරීමට අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ අසාර්ඩ් මහතා ඇතුළු සිවුපුද්ගල ශ්‍රී ලාංකික නීති නියෝජිත කණ්ඩායමක් අඟහරුවාදා සෞදි අරාබිය බලා පිටත්ව යනු ඇත.
මෙම නියෝජිත කණ්ඩායමට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන මහත්වරුන් ඇතුළත් වේ. මෙම කණ්ඩායම බදාදා (07) දින මෙම නඩුව මෙහෙයවන සෞදි නීති ආයතන දෙකක නියෝජිතයින් හමුවී සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකිරීමට නියමිත අභියාචනය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
අතිරේක සොලිසිටර් ජෙනරාල් නවාවි මහතා මාධ්‍යවෙත ප්‍රකාශ කළේ, අභියාචනය සඳහා අවශ්‍ය ලේඛන සකස් කර අවසන් කිරීමට සහ නඩුව සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවරයන් විමසා බැලීම සඳහා නියෝජිත පිරිස සෞදි බලධාරීන් හමුවීමට නියමිත බවයි.
බදාදා සිට බ්‍රහස්පතින්දා දක්වා මෙම හමුවීම් සංවිධානය කර ඇති අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය, එහි අදාළ දෙපාර්තමේන්තු සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් ඉදිරි කටයුතු සූදානම් කෙරෙමින් පවතී.
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම නඩුවට සහාය වීම සඳහා සෞදි නීති ආයතන දෙකක සේවය ලබාගෙන ඇත. නියමිත කාල සීමාව තුළ නීතිපති දෙපාර්තමේන්තුව හරහා මරණ දඬුවමින් සහනයක් පතා අභියාචනයක් ගොනු කිරීමට නියමිතය.
කල්මුණේ, නට්පිට්ටිමුනයි ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයෙකු වන සිවරාසාට සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් අල්-අහ්සා (Al-Ahsa) අපරාධ අධිකරණය විසින් මුලින් වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කරන ලදී.
සිවරාසාගේ නීතිඥ කණ්ඩායම දඬුවම අඩු කරන ලෙස ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් කළ අතර, සෞදි පැමිණිලි පාර්ශවය ද වෙනම අභියාචනයක් ඉදිරිපත් කරමින් වඩාත් තදබල දඬුවමක් ඉල්ලා සිටියේය. පසුව අභියාචනා අධිකරණය විසින් එම දඬුවම මරණ දඬුවම දක්වා ඉහළ නංවන ලදී.
ශ්‍රී ලංකා රජය සිවරාසා වෙනුවෙන් සහනයක් ලබාගැනීමට නීතිමය මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයන් ද අනුගමනය කරමින් සිටී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සෞදි අරාබියේ රජු වෙත සමාව අයැදීමේ පෙත්සමක් යැවීමට නියමිත අතර, ජනාධිපතිවරයාගේ එම ඉල්ලීම ද රැගෙන පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ද සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය.
රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම නඩුව සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන අතර රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ සෞදි බලධාරීන් සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි.
මේ අතර, අනෝජන් සිවරාසා නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම ලබාදෙන ලෙස ඉල්ලමින් රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර මහා නිකායේ මහා නායක හිමිවරුන් විසින් පසුගියදා ජනාධිපතිවරයා වෙත සංදේශයක් ද භාරදෙන ලදී.


