ස්වෛරිත්ව බැඳුම්කර ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද ?

මෙය පාඨකයෙකු විසින් පෞද්ගලිකව අසා ඇති ප්‍රශ්නයකට ලබා දෙන පොදු පිළිතුරක්. ප්‍රශ්නය තවත් බොහෝ දෙනෙකුගේද ප්‍රශ්නයක් විය හැකි නිසාත්, ප්‍රශ්නයට පිළිතුර පහසුවෙන් සොයා ගැනීමේ හැකියාවක් නැති නිසාත්, අවශ්‍ය පිළිතුර මේ අයුරින් සටහනක් ලෙස පළ කරනවා.

ඔබ දන්නා පරිදි, 2024 වර්ෂය අවසානයේදී ශ්‍රී ලංකා රජය විසින් ඒ වන විට නිකුත් කර තිබුණු ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර එකොළහක් ප්‍රතිව්‍යුහගත කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී තාක්ෂණිකව සිදු වූයේ අලුත් ස්වෛරිත්ව බැඳුම්කර හතක් නිකුත් කර, ඒ වන විට නිකුත් කර තිබුණු ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර එකොළහ සහ එම බැඳුම්කර වෙනුවෙන් ගෙවිය යුතුව තිබුණු නමුත් නොගෙවා පැහැර හැර තිබුණු කූපන් පොලී මුදල් වෙනුවට මෙසේ අලුතෙන් නිකුත් කළ බැඳුම්කර හතෙහි කොටස් ලබා දීමයි.

ඉහත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් මෙසේ අලුතෙන් නිකුත් කළ බැඳුම්කර කල් පිරෙද්දී අදාළ මුදල් ආපසු ගෙවිය යුතුයි. මෙම කටයුත්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ වහාම ආරම්භ වුනා. මේ අනුව, පළමුව කල් පිරෙන බැඳුම්කරයෙහි මුල් මුදලින් 47%ක් මේ වන විටද පියවා අවසානයි. එහි ඉතිරි 53%ක කොටස 2027 සහ 2028 වසර වලදී පියවිය යුතුයි. ඉන් පසුව, 2029-2038 කාලය තුළ ඉතිරි බැඳුම්කර හය කල් පිරෙනවා.

මෙම ස්වෛරිත්ව බැඳුම්කර ණය පියැවීම සඳහා ඉදිරි එක් එක් වර්ෂය තුළ කොපමණ මුදලක් අවශ්‍ය වේද යන ප්‍රශ්නයට ආසන්නවම නිවැරදි පිළිතුරක් තිබෙන්නේ මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවකයි. එහෙත්, එහි සඳහන් ගණන් වලින්ද සැබෑම තත්ත්වය නිරූපණය වන්නේ නැහැ. ඊට හේතුව රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය සහ ආර්ථික වර්ධන වේගය හා අදාළ මූල්‍ය අරමුදලේ මුල් පුරෝකථන මත පදනම්ව එහි දක්වා ඇති ගණනය කිරීම් සිදු කර තිබීමයි.

මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළ හෝ ඉදිරි වසර තුළ රටේ ආර්ථිකයේ අනපේක්ෂිත විශාල කඩා වැටීමක් සිදු වුවහොත් හෝ ඩොලරයක මිල අනපේක්ෂිත ලෙස විශාල ලෙස ඉහළ ගියහොත් මිස නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය සහ ආර්ථික වර්ධන වේගය සම්බන්ධව මූල්‍ය අරමුදලේ මුල් පුරෝකථන නිවැරදි වීමේ ඉඩක් මේ වන විට නැහැ. ඒ නිසාම, දැනට පවතින තත්ත්වය තුළ අලුත් ස්වෛරිත්ව බැඳුම්කර හතරක් වෙනුවෙන් ගෙවිය යුතු උපරිම මුදලම ගෙවන්නට සිදු වෙනවා. මේ අනුව, ස්වෛරිත්ව බැඳුම්කර හතෙන් දෙකක් වෙනුවෙන් 17%ක අමතර ගෙවීමක්ද, තවත් දෙකක් වෙනුවෙන් 22%ක අමතර ගෙවීමක්ද සිදු කළ යුතු වෙනවා.

අපගේ පහත ඇස්තමේන්තු පිළියෙළ කර තිබෙන්නේ ඉහත පදනම මතයි.

2024: ඩොලර් මිලියන 115.3 (ගෙවා අවසන්)

2025: ඩොලර් මිලියන 329.5 (ගෙවා අවසන්)

2026: ඩොලර් මිලියන 329.5 (ගෙවා අවසන්)

2027: ඩොලර් මිලියන 329.5

2028: ඩොලර් මිලියන 543.8

2029: ඩොලර් මිලියන 726.0

2030: ඩොලර් මිලියන 726.0

2031: ඩොලර් මිලියන 921.6

2032: ඩොලර් මිලියන 921.6

2033: ඩොලර් මිලියන 966.7

2034: ඩොලර් මිලියන 855.0

2035: ඩොලර් මිලියන 855.0

2036: ඩොලර් මිලියන 1354.2

2037: ඩොලර් මිලියන 1354.7

2038: ඩොලර් මිලියන 1309.6

මෙම ගණන් ආපසු ගෙවීම විශාල ප්‍රශ්නයක් නොවන බව අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. එහෙත්, එසේ වූ පමණින් නැවත වරක් මූල්‍ය අරමුදල සමඟ එකඟතාවක් ඇති කර ගැනීමේ වැදගත්කම අහෝසි වන්නේ නැහැ. මෙහි තිබෙන්නේ ආපසු ගෙවිය යුතු ස්වෛරිත්ව බැඳුම්කර ණය පමණයි. ගෙවිය යුතු සියලුම විදේශ ණය එකතු වූ විට එය මීට වඩා සැලකිය යුතු ණය බරක්. එම ණය පියවීම සඳහා වසරින් වසර අලුතෙන් විදේශ ණය ගන්නට සිදු වෙනවා. මූල්‍ය අරමුදල සමඟ තවත් එකඟතාවක් ඇති කර ගැනීම මගින් එසේ අලුතෙන් ණය ගැනීමේ පීඩනය අඩු කර ගත හැකියි.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව 35% සිට 58% දක්වා ඉහළට – අගමැති හරිනි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : රජය විසින් ගනු...

Jeffrey Archer : අසාමාන්‍ය ජීවිතයේ සමාප්තිය…..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ප්‍රබන්ධ කතාවකටත් වඩා...

සතිය තීරණාත්මකයි.කථානායකට ඉල්ලා අස්වෙන්නැයි සජබෙ යළි ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග...