අස්වැසුම ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන අසත්‍ය තොරතුරුවලට රැවටෙන්න එපා – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW :

අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකගේ සහනාධාරය අත්හිටුවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවති, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා සවියට නව බලයක්” වැඩසටහන පිළිබඳව අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 1,206,000ක් (ලක්ෂ 12කට ආසන්න සංඛ්‍යාවක්) වන බැවින්, ලක්ෂ 14ක පිරිසකගේ ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන වාර්තා ප්‍රායෝගිකව පවා සිදු විය නොහැකි බවයි.

අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන සමාලෝචනයට අනුව, පළමු අදියර සඳහා තේරී පත් වූ ප්‍රතිලාභීන් 991,000කගේ නාමලේඛනය ප්‍රකාශයට පත් කර තිබේ. පළමු අදියර යටතේ දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 989,000ක් පමණ වන බැවින්, නව සමාලෝචනයට අනුව ප්‍රතිලාභීන් 2,000ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් 215,000ක් පමණ සිටින අතර, එම අදියරේ සමාලෝචනය ලබන වසරේදී සිදු කිරීමට නියමිතය. ඒ අනුව, එම සමාලෝචනය සිදු කරන තෙක් දැනට සිටින ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාවෙහි වෙනසක් සිදු නොකර අස්වැසුම ප්‍රතිලාභ අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.

තවද, පළමු අදියර යටතේ තවත් ප්‍රතිලාභීන් 740,000ක පමණ පිරිසක් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට නියමිතව තිබේ. මෙම සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉදිරියේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව අඩු වීමක් නොව, වැඩි වීමක් සිදුවිය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

එබැවින්, අස්වැසුම ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන මෙවැනි අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරුවලට නොරැවටෙන ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න...

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...