රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW:
අයර්ලන්තයට යුරෝපීය මීටර් 1500 රන් පදක්කම දිනා දුන් සියාරා මැගීන් (Ciara Mageean) වයස අවුරුදු 34 දී අවාසනවන්ත ලෙස තම වටිනා දිවියට සමු දී තිබේ.
රෝමයේදී 2024 වසරේ යුරෝපීය ශූරතාව දිනාගත් දෙවතාවක් ඔලිම්පික් නියෝජනය කළ මැගීන්, තමා මහ බඩවැලේ පිළිකා රෝගයෙන් පෙළෙන බව පසුගිය වසරේ නිවේදනය කළාය.

අද දින ඇගේ ඉන්ස්ටග්රෑම් (Instagram) ගිණුමේ සටහනක් තබමින් මෙසේ සඳහන් කර තිබේ: “අද උදෑසන 6:30 ට ඇගේ ආදරණීයයන් පිරිවරා සිටියදී සියාරා පිළිකා රෝගය සමඟ පැවති සටනින් පරාජය වූවාය. ආදරණීය දියණියක, සොහොයුරියක, බිරිඳක, මිතුරියක සහ බොහෝ දෙනෙකුට ආදර්ශයක් වූ ඇයගේ සමුගැනීම සැමට විශාල පාඩුවකි.”
උතුරු අයර්ලන්තයේ ඩවුන් කවුන්ටි හි පෝටාෆෙරි (Portaferry) ප්රදේශයේ පදිංචිව සිටි මැගීන් පසුගිය මාසයේදී විවාහ දිවියට ඇතුළත් වූවාය.
2016 රියෝ සහ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කළ මැගීන්, 2022 දී යුරෝපීය මීටර් 1500 රිදී පදක්කම සහ 2016 දී ලෝකඩ පදක්කම දිනාගත් අතර, 2023 ලෝක ශූරතාවලියේදී 4 වන ස්ථානය හිමිකර ගත්තාය.
ඇය 2022 බර්මින්හැම් හි පැවැති පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේදී උතුරු අයර්ලන්තය නියෝජනය කරමින් රිදී පදක්කම ද දිනාගත්තාය.
අයර්ලන්ත අලෙවික්ස් (Athletics Ireland) ආයතනය නිකුත් කළ නිවේදනයක මෙසේ දැක්වේ: “සියාරා මැගීන්ගේ අභාවය පිළිබඳ පුවත ඇසීමෙන් අයර්ලන්ත අලෙවික්ස් ආයතනය දැඩි කණගාටුවට පත්ව සිටී. සියාරා යනු බොහෝ දෙනෙකුගේ ජීවිතවලට ආලෝකයක් වූ, ආදරණීය මෙන්ම ආදර්ශමත් චරිතයකි. ඇගේ ධෛර්යය, කරුණාවන්තකම සහ ජවය සදාතනික මතකයක් ලෙස ඉතිරි වනු ඇත. මෙවැනි ඉතා දුෂ්කර මොහොතක අයර්ලන්ත අලෙවික්ස් ආයතනයේ සැමගේ ශෝකය සියාරාගේ පවුලේ අයට, මිතුරන්ට සහ ආදරණීයයන්ට පිරිනමමු.”
ඇයට නිවන් සුව ලැබේවා!“





