සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයේ ජනාකීර්ණ ප්රදේශයකට පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ලියර්ජෙට් 60 (Learjet 60) වර්ගයට අයත් මෙම යානය ඊයේ(01)දිනයේ දහවල් ෆ්ලොරිඩාවේ පාම් බීච් ප්රාන්තයේ ග්රීන්ඒකර්ස් ප්රදේශයට ආසන්නව අනතුරට ලක්ව ඇත.
ටෙක්සාස් ප්රාන්තයේ ඔස්ටින් ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කළ යානය බහමාස් දූපත් වෙත ගමන් කරමින් තිබූ බව ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය තහවුරු කර ඇති අතර යානය කඩා වැටීමත් සමඟ දැවැන්ත පිපිරීමක් සිදුව, ගිනි බෝලයක් සහ කළු දුමාරයක් අහසට නැඟුණු ආකාරය අවට සිටි පුද්ගලයන්ගේ වීඩියෝ දර්ශනවල සටහන්ව තිබේ.
අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් ප්රකාශ කර ඇත්තේ යානය මිසයිලයක් පොළොවට කඩා වැටෙන ආකාරයෙන් පැමිණි බවත්, විශාල පිපිරීමක් සමඟ සුන්බුන් විශාල ප්රදේශයක විසිරී ගිය බවත්ය.
යානයේ සිටි සියලු දෙනා මියගොස් ඇති බව තහවුරු කර ඇති අතර, අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ පිහිටි ජංගම නිවාස සංකීර්ණයක පදිංචිකරුවන් 600කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
යානය අනතුරට ලක්වීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුරට පෙර ගුවන් නියමුවා අයිස් තැන්පත් වීම සහ දැඩි කැළඹිලි සහිත කාලගුණ තත්ත්වයක් පිළිබඳ ගුවන් පාලක මැදිරියට දැනුම් දී තිබූ බව ද වාර්තා වේ.
ඇමෙරිකානු ජාතික ප්රවාහන ආරක්ෂක මණ්ඩලය (NTSB) සහ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) එක්ව අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

