මම හිතන්නේ කාවන්තිස්ස මහ ඇතාගේ හදිසි වියෝව වනතුරුම සජිත් ප්‍රේමදාස කියන දේශපාලඥයා කවුද කියන එක සමාජගත වෙලා තිබ්බේ නැහැ. තිබ්බත් තිබුණේ යම් ආකාරයක නිශේධනාත්මක චිත්‍රයක්.
ඒක ධනාත්මක කරන්න සජිත් කවදාවත් ලොකුවට වෙහෙසුනෙත් නැහැ. ඇතුලෙන් හයිය මිනිස්සු බාහිර ගැන ඕනෑවට වඩා වදවෙන්නේ නැහැ.
හැබැයි කාවන්තිස්ස මරණය එක්ක ‘සජිත් නම් ඇත්ත මිනිසා’ නැත්නම් ‘සජිත් නම් දේශපාලඥයා තුල සිටි ඇත්ත මිනිසා’ එළියට ආව. ඒ කියන්නේ සජිත්ගේ ඇතුල එළියට ආව. මම කියන්නේ ඒක සජිත්වත් දන්නේ නැතිව නොසිතා සිදුවෙච්ච දෙයක්. වෙනත් විදියකට කිව්වොත් අහඹුවක්.
ඒ කියන්නේ මෙච්චර කාලයක් සජිත් තුල හිටපු හැබැයි ලෝකය නොදැක්ක ‘සජිත් නම් පාරිසරික දේශපාලඥයා’ කාවන්තිස්ස එක්ක එළියට ආව. ගහ කොළට ආදරය කරන, සතා සීපාවට ආදරය කරන, එයාල ගැන දන්න, ඉඩ ලද ඕනෑම වෙලාවක එයාල අස්සේ ගැවසෙන ලංකාවේ මෙතෙක් ප්‍රධාන ධාරාවේ හිටපු එකම පරිසර දේශපාලඥයා මේ අනුව අපිට මුණගැසෙනවා.
කොච්චර තරම් ඔහුගේ පරිසරය සහ මිනිසා අතර පරතරය (සහ සම්බන්දය) ගැන දැනුවත් ද කියනවා නම් ඔහු එක තැනක කියනවා ‘මම ඔය කැලේ ඉන්න අලි ඇතුන්ට කෑම දෙන එක ගැන එච්චර කැමැත්තක් නැහැ’ කියල. අපි එකපාරට අවුල් වෙන්න පුළුවන් ඒ කතාවෙන්. අලියෙක්ට කෑම දුන්නම ඇති වරද මොකක්ද වගේ හිතෙන්න පුළුවන්. නමුත් ඒකට ඔහුගේ පැත්තෙන් පරිසරවේදී සිතීමක් තියෙනවා.
ඔහු කැලේට ආදරය කරන ගමන් කැලේ කැලේ හැටියටත් මානව සමාජය මානව සමාජය ලෙසටත් වෙන්කර ගන්නවා. පටලා ගන්නේ නැහැ. ඒක ලස්සන පාරිසරික ප්‍රවේශයක්. ආදරය කරනවා. හැබැයි දුරින් ඉඳන්.
නමුත් ඔහු ආදරය කරපු කාවන්තිස්ස ඇතා වෙනුවෙන් ප්‍රතිමාවක් කරන්න පවා ඉදිරියට එනවා. ඒක අනුස්මරණීය දෙයක් බවට පත්කරනවා. මේ වගේ දේවල් සාමාන්‍ය දේශපාලනඥයෙක් ගෙන් සිදු නොවෙන, බලාපොරොත්තු වෙන්න බැරි දේවල්. Gen Z එකට විකාර තොරොම්බල් පෙන්නනවට වඩා එයාල අර්ථවත් දේශපාලනයක් කරා අරන් එන්න ඕනි. එයාල බුද්ධිමත් පරම්පරාවක්. එයාල වෙලාවට තේරුම් ගනී.
කාවන්තිස්ස ප්‍රතිමාවේ තේරුම කාවන්තිස්ස හරහා අනෙක් අලි ඇතුන්ට පරිසරයට ආදරය කරන්න කියන එක. අපි අතින් කවන්තිස්සට වෙච්ච වැරැද්ද ආයේ නොවෙන්න වගබලාගමු කියන එක. කාවන්තිස්ස හරහා පටු දේශපාලනයක් කරනවාට වඩා ඒක අනුස්මරණීය දෙයක් කරන එක වැදගත්. සමහර විටක මේ ආසියාවේ හිටපු උසම ඇතාගේ පිළිරුව බලන්න සංචාරකයෝ පවා එන්න පුළුවන්. හිටපු කාවන්තිස්සට වඩා නැති කාවන්තිස්ස බලවත් වෙන්න පුළුවන්.
චිනය වගේ දැවැන්තයෙක් මේ වෙද්දී ප්‍රචලිත කරමින් ඉන්නේ ‘පාරිසරික ශිෂ්ඨාචාරයක්’ ගැන (ecological civilization). නරේන්ද්‍ර මෝදී කතාකරන්නේ ‘පාරිසරික ජීවන ශෛලියක්’ ගැන (Mission LiFE : Lifestyle for Environment).
අපි ඉස්සරහ ඉන්න යෝධයෝ දෙන්නම අති විශාල පාරිසරික දේශපාලනයක් ගැන කතාකරනවා. හෝ එයාලට කතා කරන්න බලකෙරිලා තියෙනවා. හැබැයි එයාල කෙලින්ම පරිසර දේශපාලනයේ ඉන්න අයම නෙවෙයි. මානව සමාජයේ ප්‍රශ්න එක්ක පරිසරය පැත්තට යොමුවෙච්ච අය. නමුත් සජිත් කියන්නේ පොඩි දරුවෙක් හැටියටම පරිසරයට යොමුවෙච්ච හෝ යොමු කරපු කෙනෙක්. ඒක එයාගේ ඇත්ත ඇතුල. ඇත්තෙන්ම හයියම කොටස.
මම හිතන්නේ එහෙම කෙනෙක් විසිඑක් වෙනි සියවසේ දේශපාලනය වෙනුවෙන් ඉන්නම ඕනි.
~ මහේෂ් හපුගොඩ


