බාල ගල් අඟුරු නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් අදාළ සැපයුම්කාර සමාගමේ කාර්ය සාධන ඇපකරය ඇතුළු රුපියල් බිලියන 16.869ක් රඳවාගෙන ඇතැයි තමන් පාර්ලිමේන්තුවේදී පැවසූ නමුත් ඒ සම්පූර්ණ මුදලම රජයට අයකර ගැනීමට හැකි බවක් තමන් එයින් අදහස් නොකළ බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
“මේ සැපයුම්කරුගේ කාර්ය සාධන ඇපකරය සහ ඒ ඒ අවස්ථාවන් සඳහා කරන දඬුවම් මුදල හැටියටත් රුපියල් බිලියන 16.869ක් මේ වෙනකොට ලංකා කෝල් සමාගම විසින් රඳවාගෙන තියෙනවා. සම්පූර්ණ අලාභය දැනට ගණනය කරලා තියෙන්නෙ බිලියන 15.765ක්. සමාගම විසින් රඳවාගෙන තියෙනවා බිලියන 16.869ක්”
“ඒ මම පාර්ලිමේන්තුවේදී කරපු ප්‍රකාශයේ අරමුණ වෙන්නේ මේ ගල් අඟුරුවල ප්‍රමිතිය නිසා කිසිම ගැටලුවක් පැනනැඟුණේ නැහැ, අලාභයක් සිද්ධ වුණේ නැහැ, ඒක අපි සමාගම්වලින් අය කරගෙන තියෙනවා කියන අදහස දෙන්න නෙවෙයි. මේ ගල් අඟුරුවල ප්‍රමිතිය නිසා ගැටලුවක් පැන නඟිනවා. ඒක නිසා සමස්තයක් හැටියට පාඩුවක් සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බැහැ. හැකිතාක් ප්‍රමාණයක් අපි මේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයූ සමාගම්වලින් අයකර ගැනීම සඳහා කටයුතු කරනවා”
ප්රශ්නය – හැකිතාක් ප්‍රමාණයක් ඒ සමාගම්වලින් අය කරගෙන ඉතුරු වෙන යම් ප්‍රමාණයක් තිබුණොත් ඒක කාගෙන්ද අය කරගන්නෙ ?
“ඔව්, මේ සියල්ල ගත්තාම බිලියන 18.116ක් මේ වෙනකොට රඳවාගෙන තියෙනවා. හැබැයි මේකෙන් අදහස් කරන්නෙ නෑ මේ සියල්ලම ගන්න පුළුවන්කම තියෙනවා කියලා. මොකද අනිවාර්යයෙන්ම මේ සමාගම් මේකට අභියෝග කරමින් නීතිය ඉදිරියට යනවා. අපි ළඟ රඳවාගෙන තියෙන මුදලින් කියවෙන්නෙ නෑ 100%ක්ම ඒ මුදල් සියල්ල අපිට අයිතිය ලැබෙනවා කියලා”
ප්රශ්නය – හදිසි මිලදී ගැනීමට යාම තුළ අතිරේක වියදමක් විදියට තවත් රුපියල් බිලියන 2කට වැඩි ප්‍රමාණයක් මෙහි දැක්වෙනවා. පරීක්ෂණ කටයුතුවලදී අතිරේක ටෙස්ටින්වලට අපිට තවත් රුපියල් මිලියන 13ක් වියදම් වෙලා තියෙනවා. ඊට අමතරව ඩීසල් විදුලිය ලබාගැනීමට සිදුවුණේ ගල් අඟුරුවලින් නිෂ්පාදනය කරපු විදුලි ධාරිතාව අඩු නිසා. ඒ සබ්සිඩි එකට ගිය වියදමත් ගණනය කරලා නැතිව තමයි මේ ගාණ හදලා තියෙන්නෙ. එතකොට ඒ ඔක්කොම ආවාට පස්සේ මේක බිලියන 20කට ළංවෙනවා කියන එකට ඔබතුමා එකඟ වෙන්නෙ නැද්ද ?
“ඇයි අපි සබ්සිඩි එක එකතු කරන්නෙ ? මේ ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳ ගැටලුව සහ සබ්සිඩි එක අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඩීසල් සහ පෙට්‍රල් ඒ වෙලාවෙ පාවිච්චි කරපු ඕනෙම ක්‍රියාවලිය සඳහා ඒ සහනාධාරය ලබාදුන්නා. ඒ නිසා මේ ගල් අඟුරුවල ප්‍රමිතිය පිළිබඳ ගැටලුව සහ ඉන්ධන සහනාධාරය ලබාදීම අතර කිසිම සම්බන්ධයක් නැහැ. මම දන්නවා ඔය දේශපාලනඥයෙක් තමයි ඔය ප්රශ්නය මතු කරන්නෙ”
ප්රශ්නය – ඒ ආනයනය කරපු ගල් අඟුරුවලින් නියමිත ප්‍රමාණයට විදුලිය ජනනය වුණා නම් ඔය ඉන්ධන සහනාධාරය විදියට ගිය මුදල වැයවෙන්නෙ නැහැ භාණ්ඩාගාරයට. එතකොට ඒ ඩීසල් සඳහා අමතරව ගිය සබ්සිඩි එක බාල ගල් අඟුරුවල ප්‍රතිඵලයක් නෙවෙයි කියලා ඔබතුමා කියන්නෙ කොහොමද ?
“මේ ඩීසල් සහනාධාරය ලබාදීම සඳහා මහාභාණ්ඩාරයෙන් කැබිනට් අනුමැතියෙන් කොච්චර මුදලක් වෙන් කළාද ? බිලියන 57ක් තමයි දුන්නෙ. දැන් ගල් අඟුරුවල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් ආවා, මුලින් වෙන් කරපු බිලියන 57ට අමතරව තවත් මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන්න ඕනෙද ? එහෙම ලබාදුන්නාද ? මේ බිලියන 57 තමයි ලබාදුන්නෙ”
ප්රශ්නය – ඉතින් ඇමතිතුමා ඒ මුදලින්ම තව ටික කාලයක් අපිට ප්‍රවාහනය සඳහා ඉන්ධන සහනාධාරය ලබාදෙන්න තිබුණානෙ මේක නොවුණා නම් ?
“වෙන් කරපු මුදලට වඩා සතයක්වත් මේ ගල් අඟුරු නිසා වැය කරලා නෑ ….”
බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මේ බව පැවසුවේ ඊයේ (02) දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී ය.


