ශ්‍රී ලංකාවේ පැවති, MTV ආයතනය විසින් සත්කාරකත්වය දැරූ ආසියානු විකාශන සංගමයේ (ABU) සමුළුවට රුපියල් මිලියන 104ක මුදලක් MTV ආයතනය වෙත ගෙවන ලද්දේ මහා භාණ්ඩාගාරයේ මුදලින් නොව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල්වලින් බවත් ඒ අරමුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් එම කාර්යාංශයේ අධ්යක්ෂ මණ්ඩලයේ සිටින සංචාරක ක්ෂේත්රයේ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසකට අවශ්‍ය පරිදි තීන්දු ගත හැකි බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ප්රශ්නය – ලංකාවේදී තිබුණා ආසියානු විකාශකයින්ගේ සංගමයේ සමුළුවක් පසුගිය දවසක. පස්සේ තමයි අපිට දැනගන්න ලැබුණේ මේකට රුපියල් කෝටි 10කට අධික මුදලක් ආණ්ඩුව පැත්තෙන් දරලා තියෙනවා, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල්වලින් තමයි ඒක දීලා තියෙන්නෙ කියලා. පෞද්ගලික මාධ්‍ය ආයතනයක් තමයි මේක පවත්වන්නෙ. එතකොට මේ මුදල ඔවුන්ට දෙන්න සලකා බලපු නිර්ණායක මොනවද කියලා කියන්න පුළුවන්ද ? මේකෙන් රජයේ දායකත්වයක් ගැන කියවෙන්නෙ නැහැ, රජයේ මුදලින් පෞද්ගලික මාධ්‍ය ආයතනයක් ප්‍රවර්ධනය වුණා කියලා තමයි පේන්න තියෙන්නෙ ?
“රජය කිසිදු ආකාරයකින් භාණ්ඩාගාරයේ බදු මුදල් වෙන්කිරීමක් මේ වෙනුවෙන් කරලා නැහැ. ආසියානු විකාශන සංගමය (ABU) කියන්නේ අවුරුදු 62ක ඉතිහාසයක් පවතින ආයතනයක්. රටවල් 66ක පෞද්ගලික සහ රාජ්‍ය මාධ්‍ය ආයතන 225ක් මේකෙ ඉන්නවා. මේ ලංකාවෙ පැවැත්වුණු උත්සවයටත් 350ක පමණ පිරිසක් සම්බන්ධ වෙලා තිබුණා. මෙහි සත්කාරකත්වය දරන්නේ කවර ආයතනයද කියන එක තෝරාගන්නේ ශ්‍රී ලංකා රජය හෝ වෙනත් රජයක් විසින් නොවෙයි ABU ආයතනයේ විධායක මණ්ඩලය විසින්. ඔවුන්ගේ නිර්දේශ අනුව තමයි ලංකාවේ පෞද්ගලික ආයතනයකට මෙහි සත්කාරකත්වය ලබාදීමේ අවස්ථාව හිමිවෙන්නේ. ලංකාවෙත් මම දන්න හැටියට රජයේ නාලිකා දෙකත් ඇතුළුව නාලිකා 06ක් පමණ මේ ABU එකේ සාමාජිකත්වය දරණවා. මේකට රුපියල් මිලියන 104ක් වැය කරලා තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයෙන්වත් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්වත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන්වත් නොවෙයි. අපේ තිබෙනවා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය. ඔවුන්ට මුදල් ලැබෙන්නේ ලංකාවට එන සංචාරකයින්ගෙන් අය කරගන්නා ඩොලර් 05ක මුදලකිනුත් ඒ වගේම සංචාරක හෝටල්වල ආදායමෙන් 1%ක මුදලකිනුත්. සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා තමයි ඒ අරමුදලෙන් 70%ක් වියදම් කරන්නේ. ඒකෙ අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය කරන්නෙත් අපේ රටේ හෝටල් ක්ෂේත්රයේ නියුතු හෝටල් සංගමයේ නියෝජිතයින් තුන්දෙනෙක් ඇතුළුව රටේ ප්රමුඛ පෙලේ හෝටල්වල හිමිකරුවන්, උපසභාපතිවරු, විධායක නිලධාරීන් ඇතුළු පිරිසක්. ඒ අය එකතුවෙලා අපේ රටේ සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීමට උදව් කරනවා. රජය මගින් කරන ඒවාට නෙවෙයි ඇත්තටම උදව් කරන්නෙ. උදාහරණයක් හැටියට රග්බි එකට උදව් කරලා තිබුණා, කලම්බු මැරතන් එකට උදව් කරලා තිබුණා, ගුවන් හමුදා පාපැදි සවාරියට උදව් කරලා තිබුණා. ඒ අනුව තමයි මේ ABU එකට සත්කාරකත්වය ලබාගත් ආයතනයට මේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මුදල් ලබාදෙන්නෙ. මොකද මේ අවස්ථාවේදි ලෝකයේ පිළිගැනීමට ලක්වුණු මාධ්‍ය ආයතන ලංකාවට පැමිණෙනවා. ලංකාව පිළිබඳ කතා කරනවා. ලංකාවට සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට අදාළ ප්‍රවර්ධන කටයුතු සිදුවෙනවා. ඒ ප්‍රවර්ධන කටයුතු සඳහා මේ කාර්යාංශය විසින් මේ මුදල් ලබාදීලා තිබෙනවා. ඒක කිසිසේත්ම භාණ්ඩාගාරයෙන් යොදවපු හෝ ජනතාවගේ බදු මුදලක් නොවෙයි”
ප්රශ්නය – ඇමතිතුමා එතකොට ඔය සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ තියෙන මුදල් රජයේ මුදල් විදියට සලකන්නේ නැද්ද ? ඒක පෞද්ගලික අරමුදලක් විදියටද සලකන්නෙ ?
“නෑ, අරමුදල් තිබෙනවානෙ. සංස්කෘතික අරමුදල තිබෙනවා, මේ වගේ අරමුදල් තිබෙනවා ගණනාවක්. ඒ අරමුදල්වලට පුළුවනි තමන්ගෙ ක්ෂේත්රයේ ප්‍රවර්ධන කටයුතු සඳහා එක්කෝ රජයේ ආයතන සමග කටයුතු කරන්න එහෙම නැත්නම් පෞද්ගලික ආයතන එක්ක කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ තියෙන ආයතන නෙවෙයි ජාත්‍යන්තර ආයතන, පුද්ගලිකම ආයතන එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඒ හරහා බලාපොරොත්තු වෙන්නෙ සංචාරකයින් ආකර්ෂණය කරගැනීම.”
ප්රශ්නය – මේ මුදල් වෙන්කරන්න එතකොට කැබිනට් අනුමැතියක් ලබාදීමක් සිද්ධවුණාද ?
“මෙතන මේ මුදලේ ප්‍රමාණය අනුව කැබිනට් එකට දැනුම්දීමේ අවශ්‍යතාවයක් තිබුණා.”
ප්රශ්නය – මේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සල්ලි රජයේ මුදල් නෙවෙයි කියන තැනින් තමයි ඔබතුමන්ලා මේ කතා කරන්නෙ. එතකොට දැන් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට තමන්ටම ඕනෙ විදියට හිතලා තීරණ ගන්න පුළුවන්ද, මේකෙන් සංචාරක ක්ෂේත්රයට ප්‍රතිලාභයක් තිබුණා කියලා තක්සේරුවක් රජයට තිබෙනවාද ?
“ඒක තිබෙන්නේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට තමයි. ඔවුන්ට ලැබෙන ඉල්ලීම අනුව මේක කොතරම් ප්‍රමාණයක් සංචාරක ප්ර්වර්ධනයට වැදගත් වෙනවාද කියන එක ඔවුන් සලකා බලනවා. ඔවුන් සමහර ක්‍රීඩා අවස්ථාවලට උදව් කරලා තිබෙනවා කලම්බු මැරතන් එක ඇතුළුව. සංචාරක ප්‍රවර්ධනයට ඒවා උපකාරී වේ යැයි කියලා ඒ අයගේ තියෙන ඇගයීම අනුව. ඒක රජයක් හැටියට නෙවෙයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ මණ්ඩලය සමන්විත වෙන්නේ සංචාරක ක්ෂේත්රයේම අයගෙන්. ඒ අයට පුළුවනි තමන් මුදල් වියදම් කරන්නේ කවර තැනකටද කියන එක තීන්දුවක් අරගෙන දැනුම් දෙන්න”
ප්රශ්නය – ඇමතිතුමා, සමාජ මාධ්‍යවල විශාල විවේචනයක් ගියා සංචාරක මණ්ඩලයට මේ යෝජනාව ගෙනාවාට පස්සේ එයාලා මේක ප්‍රතික්ෂේප කළා, මේ මුදල ගෙවන්න බැහැ කියලා එයාලා කිව්වාට පස්සේ එතැනින් ඔබ්බට යම්කිසි අදෘෂ්‍යමාන බලවේගයක් හරහා තමයි මේක කැබිනට් මණ්ඩලය ගියේ කියලා. මේකෙ සත්‍ය අසත්‍යතාවයක් තියෙනවාද ?
“නෑ, කිසිසේත්ම නෑ. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට තිබුණේ අමාත්‍යාංශය හරහා මේ පිළිබඳ දැනුම්දීමක් කරන්න. මීට කලින් කැබිනට් එකට එන්නෙ නැතිවත් යම් මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමේ හැකියාව ඔවුන්ට පවතිනවා අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව. ඒක තනිකරම සංචාරක ක්ෂේත්රයේ නිරත අයගේ කණ්ඩායමක්. ඒ අයට තීන්දු කරන්න පුළුවන් සංචාරක ක්ෂේත්රයේ ප්වර්ධනය සඳහා තමන්ම මේ අවස්ථාව සංවිධානය කළා නම් මීට වඩා ලොකු මුදලක් යනවා, ඒ වෙනුවට වෙනත් ආයතනයකින් සංවිධානය කරන කටයුත්තකට උදව් කරන්නෙ කොහොමද කියන එක. මම හිතන්නෙ ඒ ආයතනයට ඒ අයිතිය තිබෙන්නට ඕනෙ, යම් යම් මුදල් සීමාවලදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම තමයි කළයුතු වන්නේ. නැත්නම් ඔබ දන්නවා අපි රජයේ බදු මුදල් වියදම් කළ නම් ඒකට ප්‍රසම්පාදන ක්‍රියාවලියක් පවතිනවා. ඒ ක්‍රියාවලිය මෙතෙන්ට අදාළ වෙන්නෙ නැත්තෙම මෙය ඒ බියුරෝ එකේ තියෙන අරමුදල් යෙදවීමක් නිසා”
නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නැඟුණු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.
MTV යනු සිරස මාධ්‍ය ජාලය ඇතුළත් මහාරාජා සමූහයේ සමාගමක් වේ.


