මා සදාකාලිකවම සිහින දකින්නියක් – වර්ණ රසිකා ගුණවර්ධන

මේ දවස්වල තියෙන වැහිබර ගතියත් එක්ක පාන්දරම ඇහැරිලා හිමිදිරිය අත්විදින්න මට තියෙන්නෙ මහ පුදුම ආසාවක්.

ඒ වගේ හිමිදිරි උදෑසනක හිමිදිරිය භුක්ති විදිමින් හිටි මොහොතක වට්ස් ඇප් එකට ලින්ක් එකක් ඇවිත් තිබුණා.

සාමාන්‍යයෙන් මගේ මිතුරන්ගෙන් ලැබෙන ලින්ක්ස් ඕපන් කරන් නැතුවම මග ඇරෙන වාර ගණන අනන්ත වුණත් , මේ පණිවිඩය එවල තිබ්බ කෙනා මගේ ජීවිතේ මං සදාකාලිකවම ආදරේ කරන කෙනෙක් වුණ නිසා ඒක එවපු සැනින්ම මං ඒක ඕපන් කරලා බැලුවා.

ඒ අපේ ලංකා නිවුස් වෙබ් අඩවියේම පළ වුණ කවියක්. මෙන්න මේක තමයි ඒ කවිය.

දැන් කොළ හැලෙන කාලේ.

සුළඟ දෙන හාදුවලට
ලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවට
නෑ! ඒ අන්තිම කාලෙ.

හෙමින් බිම වැතිරුනාම
රිදෙනව වුනත් ඇඟපත
අතගාන්නත් කෙනෙක් නැති කාලෙ.

කෙටිම කෙටි ජීවිතයක
ස්මරණයන් බෙදා ගන්න
සගයෙක් උවමනාම කාලෙ.

දැන් කොළ හැලෙන කාලෙ !

මීට පස්සෙ එන්නෙ
අලුත් කොළ ලියලන කාලෙ
සොහොන් කොත් ඉදිවෙන කාලෙ.

මේ කවියේ උත්ප්‍රාසය මාව කොයි තරම් නම් සසළ කළාද කියනවා නම් කවියේ ලින්කුව එවලා තිබ්බ මගේ ආත්මීය සහෝදරයාට

මම ආපසු පණිවිඩයක් යැව්වා.

“ෂා…මාර ලස්සන කවියක්නෙ.”

ඒ වෙලාවෙම වට්ස් ඇප් එකෙන් කෝල් එකකුත් එනවා. ඒ ඇමතුම ඇතුළේ මේ කිවිදිය ගැන අපි අතරේ ඇති වුණ කතා බහෙන් මං මුලින්ම මවිතයට පත් වුණා.

“ඒ තරම් ප්‍රසිද්ධ සිංදුවකට මොකක්ද එයාගෙ තියෙන සම්බන්ධය????”

එතැන් සිට…,

මං ඇයගෙ කවි රාශියක් හොයාගෙන කියෙව්වා. ඒවා කොයිතරම් නම් මාව පිස්සු වැට්ටුවද කියනවා නම් මෙතෙක් කල් ඇගේ නිර්මාණ ක්‍රියාවලිය පිළිබදව තිබුණු මගේ නොදැනුවත්කම ගැන මට අවංකවම ලැජ්ජ හිතුණා.

මොකද ඇත්තටම ඇය මග හරින්න බැරි කෙනෙක්…හරිම ප්‍රභලයි…ආදරණීයයි. අනුවේදනීයයි…

දන්නවද?

ඇය තමයි “වර්ණ රසිකා ගුණවර්ධන “

මේ තියෙන්නෙ ලංකා නිවුස් වෙබ් අඩවියේ අපි සමග ඇය කරපු සාකච්ඡාවයි.

ප්‍ර. ඔබ සහ ඔබේ කාව්‍ය නිර්මාණ ගැන දැනටමත් අපේ වෙබ් අඩවියේ පාඨකයන් දැනුවත්ව හිටියත් බොහෝ දෙනෙක් නොදන්නා කරුණුකින් මේ කතා බහ පටන් ගන්නට මා කැමතියි. ඒ නිසා ඒ ආරම්භයට හොදම තැන විදියට මා දකින්නෙ මෙයයි. ‘දවසක හමු වෙමු, හමු වී හිනැ හෙමු” ගීතයේ පැදි පේලියට ඔබේ කිසියම් හෝ දායකත්වයක් තිබෙනවා නේද? මේ ගැන අපිත් සමග කියන්න පුළුවන්ද…?

පි. අධ්‍යාපනය නිමවී සැහැල්ලුවෙන් සිටි කාලයක රත්නපුරේ අමතර පංතියකට යන තරුණ ගෑණු ළමයෙක් . ඇය යන පාර දිගටම මල් වැටිලා. කුරුල්ලන්ගෙ සද්දෙ ඇරෙන්න වෙන කිසි සද්දයක් ඇහෙන්නෙ නෑ. ඈත කඳුවල මීදුම තැවරිලා. මුහුණ පුරා පිණි දැවටෙනවා. නව යෞවනයේ චමත්කාරයෙන් ඇය මත්වෙලා. ඇගේ සිතේ ගීත මැවෙනවා.

කවුරුත් එන්නැති
කවුරුත් දන්නැති
මල් පෙති ඉහිරුණ
මල් පාරේ
ලියැවුනේ එහෙම.

ඇගේ පෑනේ මිතුරෙකුට ඈ එම ගී පද කීපය තෑපැල් කර යවනවා. ඔහු ඊට තවත් රස පද එකතු කර කපුගේට දෙනවා.

ප්‍ර. මා සමග සම්මුඛ සාකච්ඡා වලට සහභාගී වූ බොහොමයක් කවි කිවිදියන් ප්‍රකාශ කළ යමක් තමයි ඔවුන් කාව්‍යකරණයේ යෙදීම කියන කාරණාව හදුන්වන්නෙ ආත්ම භාෂණයක් විදියට කියන එක. ඔබෙනුත් කවි ලියවෙන්නෙ ආත්ම භාෂණයක් විදියටද? නැතිනම් ඔබටම අනන්‍යය වූ කිසියම් හෝ හේතුවක් නිසාද?

පි. මං කවි ලියන්නෙ ඇත්තටම මගේ හිත සැහැල්ලු කර ගන්න. ඉස්සර පාසැල් යන කාලෙ මම පත්තරේට සහ ගුවන් විදුලියට කවි ලිව්වා. දැන් වඩාත් පහසුවෙන් මූණු පොතට ලියනවා. මගේ කවි කියවන අයගේ ප්‍රතිචාර වලින් මං සතුටු වෙනවා.

ප්‍ර. ඒ කියන්නෙ ඔබට කවදාවත් වෘත්තීයමය සාහිත්‍යය වේදිනියක් හෝ කිවිදියක් විදියට පෙනී සිටින්නට හෝ පොත් පළ කරන්නට වුවමනාවක් ඇති වුණේ නැතිද?

පි. නෑ. තවම පොතක් කරන්න අදහසක් නෑ.

(මෙතනදි නම් මට ඇය එක්ක තරහක් ආවා. ඔබත් ඇගේ ආදරණීය පාඨකයෙක් නම් මගේ තරහා ගැනීම සාධාරණයි නේද?. කොහොම නමුත් මගේ පුද්ගලික රුචිකත්වය ඇගේ අරමුණ නොවිය යුතු බැවින් ඒ ගැන වැඩිදුර මුකුත් කියන්න ගියේ නැහැ….)

ප්‍ර. කිවිදියක් විදියට ඔබ කොහොමද දේවල් දේශපාලනිකව සහ දාර්ශනික විදියට දකින්නෙ?

දේශපාලනය ගැන නම් කිසිම දැකීමක්වත්, පැහැදීමක්වත් නෑ. ජීවිතය ගැන නම් දර්ශනයක් තියෙනව.

නමුත් ඇත්තටම ඔබේ ප්‍රශ්නය ඇහුවාම මට හිතුනෙ ඉක්මනටම ලේසි උත්තරයක් දෙන්න පුලුවන් වේය කියලයි. නමුත් ඇත්තටම මේක මාව දවස් ගානක් නිහඬ කරවන්න පුළුවන් ප්‍රශ්නයක්.

නමුත් මේ සාකච්ඡාව ඇතුළෙ මං ඔබට උත්තරයක් දෙන්න ඕනනෙ. ඒ නිසා මෙහෙම දෙයක් කියන්නම්.

ජීවිතේ ගැන මගේ දර්ශනය කුමක්ද?
ඇත්තටම මට එහෙම දර්ශනයක් තියෙනවද?

ළමයෙක් ලෙසින් දුටු ජීවිතය,යෞවනියක ලෙසින් දුටු ජීවිතය ,තරුණියක ලෙසින් දුටු ජීවිතය හා මැදිවියේ අද මා දකින ජීවිතය එකිනෙකට කොයිතරම් වෙනස්ද?
ජීවිතය යනු මල් පිපෙන,ගෙඩි හැදෙන හා පත් හැලෙන කාලවල සම්මිශ්‍රණයක්.
ජීවිතය යනු මිහිරි මතක කීපයක්.
හරියට ඔබ හරහා මීදුම ගමන් කලාක් වැනියි. ස්පර්ශය දැනුන මුත් ඉතිරි වූ දෙයක් නැත.
නමක් ඇති හැම දෙයක්ම, හැම කෙනෙක්ම මතකයේ නොරැඳෙන, ඉඳහිට කෙනෙක් දෙන්නෙක් හදෙහි ගැඹුරට ඇනෙන ජීවිතයෙහි දිග පළල සොයා වෙහෙසීමත් වෙලාවකට නිරර්ථකයි.

ප්‍ර. අපේ සංවාදයේ ආරම්භයෙදිම ඔබ කිව්ව දෙයක් තමයි කපුගෙ ගායනා කරපු ගීතයේ මුල් පැදි ලියවුණ විදියත් එය පෑනේ මිතුරෙකුට යැවූ බවත්. ඇත්තටම කොහොමද මේ පෑනෙ මිතුරුකම් ඇති වුණේ සහ ඒ පෑනෙ මිතුරා ගැනත් යම් දේවල් ටිකක් කියන්න පුළුවන්ද?

මම ඒ කාලෙ ගුවන්විදුලියේ ගුරු කුලය වැඩ සටහනට ලිවුවා. ඒ කාලේම සොඳුරු සෙවන වැඩ සටහනකට සමනලගේ ලියුම කියා ලියන තරුණයෙක් සිටියා. ඔහු ලියන දේවල් හරියටම මට ලියන්න අවශ්‍ය දේවල්මයි. ඒ කාලේත් ඔහු විවිධ ක්ෂේත්‍ර වලින් රටේ ප්‍රසිද්ධ කෙනෙක්. අපේ තරුණ කාලයේ මොබයිල් දුරකථන තියා සාමාන්‍ය දුරකථනවත් තිබුනේ එහෙමත් ගෙදරක. ඒ කාලේ ලිපි වලින් තොරතුරු හුවමාරු කර ගැනීම තමයි කෙරුනේ. ඉතින් මාත් අර මා වගේම ලියන තරුණයාට ඔහුගේ ලියවිලි අගය කරලා ලිපියක් යැව්වා. ඔහු ඊට පිළිතුරු එව්වා. එදා පටන් ගත් මිතුරුකම තමයි අදටත් තියෙන්නෙ. ඔහු සමන් අතාවුදහෙට්ටි.

ප්‍ර. ඔයාගෙ සමකාලීන සහෝදර නිර්මාණකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ ගැන මොකද හිතෙන්නෙ. මොකක්ද ඒ අය සහ ඒ දේවල් ගැන තියෙන කමෙන්ට් එක.

පි. සමකාලීන කියන්නෙ ඒ කාලෙ මං කවියෙක් නෙමේනෙ දැන් වගේම. ෆේස් බුකියෙන් පසු කාලේ හමුවන හොඳම කවියා තමයි සමර විජේසිංහ. ඔහු නිසයි අප බොහෝ දෙනෙකුටම නැවත කවි ලිවීමේ උනන්දුව ඇති වුනේ. ඔහුගේ කවි සහ කෙටිකතා ඉතා විශිෂ්ඨයි.

මගේ මතකයේ තියෙන මං ඔහුගෙ ආස කරන කවියක් ඔබට කියන්නම්.

“අප එවා ඇත
වරක් පමණක්
මේ පොළොව මත
කෙටි දුරක් ඇවිද යාමට

සතුටුවෙමි
එම කෙටි දුරින්
බොහෝ දුර මා පැමිණි පසු
අප එකට
දිලිසෙ පියවර කීපයක්
ගමන් කළ බැවින්
සිහින් මීදුමට
අතුරුදන් වන්න පෙර ඔබ

මගේ ජීවිතය
එම දිලිසෙන පියවර කීපය ය”

ප්‍ර. පෑනේ මිතුරන්ගෙ ඉදලා ෆේස් බුක් මිතුරන් දක්වා ආපු ගමනේ කවීත්වය…ඒ කියන්නෙ දේවල් වෙනස් වෙලා අද තියෙන තත්වයට පත් වුණ හැටි ගැන මොකද හිතෙන්නෙ. කොහොමද ඔයාට ඒක ෆීල් වෙන්නෙ?

පි. කාලයත් සමග සියල්ල වෙනස් විය යුතුයි. අප එදා ලිපිවලින් හුවමාරු කර ගත් දේවල් අද ඉතා පහසුවෙන් අන්තර්ජාලය මගින් හුවමාරු වෙනවා. එදා කවියක් පුවත්පතට හෝ ගුවන් විදුලියට යවා එය පලවේදැයි අවිනිශ්චිතව බලා සිටියා.

අද ඕනෑම කෙනෙකුට තමන්ගේ බ්ලොග් එකක, මූණු පොත් බිත්තිය මත තම නිර්මාණ පල කල හැකියි. AI තාක්ෂණය උදව් කරගෙන ඕනෑම කෙනෙකුට කවියෙක්,ගීත රචකයෙක්,සංගීත ශිල්පියෙක්,විචාරකයෙක් විය හැකියි.

මෙහි සුබ අසුබ දෙකම තියෙනවා. නමුත් ලෝකය ඉදිරියට ගමන් කල යුතුයි. අප ඊට අනුගත විය යුතුයි.
මිත්‍ර සම්බන්ධතා බැලුවොත් අන්තර්ජාලය හරහා අපට සමානයන් සොයා ගත හැකියි. එය ඉතා සන්තෝෂජනක කරුණක්.

ප්‍ර. අකමැත්තෙන් වුණත් මේ කතා බහට අවසානයක් තියෙන්න ඕන නිසාම මගේ අවසාන ප්‍රශ්නයත් ඔබෙන් අහන්නම්. වර්ණ රසිකා ලෝකය දකින විදිය නෙමෙයි. ලෝකය වර්ණ රසිකාව දකින්න ඕන කොයි විදියටද?

පි. මම සාමාන්‍ය ජීවිතයක් ගත කරන සාමාන්‍ය ගැහැණියක්. කවි කිරුළක් කවදාවත් මගේ හිස මත නෑ.
මා සදාකාලිකවම සිහින දකින්නියක්. ලෝකය ඒ ඒ විදියට මා දකිනවාට මා කැමතියි.

නිමි.

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න.

නන්දා මාලිනී

සටහන හා සාකච්ඡාව සිදු කළේ
බාසුරු ජයවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි තණමල්විල සභාවේත් අයවැය පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල...

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට...

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...