සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ඉන්දුනීසියානු උප ජනාධිපති, හිටපු ජනාධිපති ජෝකෝ විඩෝඩෝගේ පුත්‍රයා වන 39 හැවිරිදි ජිබ්රාන් රකබුමින් රාකාගේ අධ්‍යාපන සුදුසුකම් සහ උප ජනාධිපති ධුරය දැරීමට ඇති නීතිමය සුදුසුකම් සම්බන්ධයෙන් මෑතකදී මතුවූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඔහු විදේශ රටකදී ලබාගත් අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ඉදිරිපත් කළ ලේඛන මැතිවරණ නීතිමය අවශ්‍යතා සපුරාලන්නේද යන්න සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා ප්‍රශ්න මතු කර තිබූ අතර දේශපාලන පක්ෂ අටකට අයත් මන්ත්‍රීවරුන් 120 දෙනෙකු විසින් ඔහුට එරෙහිව දෝෂාභියෝග ක්‍රියාවලියක් ආරම්භ කිරීමට අදාළ පෙත්සමක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.
ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ සමඟ පැවති සාකච්ඡාවකදී ද මීට පෙර ඉල්ලා අස්වීමේ අදහස ගිබ්‍රාන් ප්‍රකාශ කර තිබූ අතර, දේශපාලන මතභේදය තවදුරටත් දිග්ගැස්සීම වැළැක්වීම තම අරමුණ බව සඳහන් කර තිබේ.
ඉන්දුනීසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව උප ජනාධිපති ධුරය පුරප්පාඩු වූ විට නව මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන අතර ඒ වෙනුවට ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන අපේක්ෂකයන් දෙදෙනෙකු අතරින් දින 60ක් ඇතුළත නව උප ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිතය.
1998 වසරේ සුහර්තෝ පාලනය අවසන් වීමෙන් පසු ආරම්භ වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලින් අනතුරුව, ධුර කාලය අවසන් වීමට පෙර ඉල්ලා අස්වූ පළමු ඉන්දුනීසියානු උප ජනාධිපතිවරයා ලෙස ද ගිබ්‍රාන් ඉතිහාසයට එක්ව තිබේ.

