ඉන්දියාවේ විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ලක්දනවි සමාගමට ඩොලර් මිලියන 75ක කොන්ත්‍රාත්තුවක්!

ඉසුරු පරාක්‍රම

නොවැම්බර් 15, කොළඹ (LNW): ශ්‍රී ලාංකික ඉංජිනේරු සමාගමක්වන ලක්දනවි ලිමිටඩ් (Lakdhanavi Limited) ඉන්දියාවේ අන්දමන් සහ නිකොබාර් දූපත් හි මෙගාවොට් 57ක ස්වභාවික වායු (natural gas-fired) විදුලි බලාගාරයක් සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 75ක පමණ වටිනාකමකින් යුත් කොන්ත්‍රාත්තුවක් දිනාගෙන තිබෙන බව වාර්තා වේ.

මෙය ඉන්දීය බලශක්ති වෙළෙඳපොළ වෙත එම සමාගම සිය මෙහෙයුම් පුළුල් කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

රුපියල් බිලියන 25ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇති මෙම ව්‍යාපෘතිය අන්දමන් දූපතේ පෝට් බ්ලෙයාර් හි හෝප් ටවුන් ප්‍රදේශයේ දී ක්‍රියාත්මක කෙරේ. මෙම බලාගාරයේ ඉදිකිරීම් අවසන්වූ පසු, එම දූපත් කලාපයේ විදුලි ජනන ධාරිතාව ඉහළ නැංවීමටත්, විදුලි සැපයුමේ විශ්වසනීයත්වය තහවුරු කිරීමටත්, දිගුකාලීන බලශක්ති අවශ්‍යතා සපුරාලීමටත් ඉන් විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ගිවිසුම දකුණු ආසියාවේ විශාලතම යටිතල පහසුකම් වෙළෙඳපොළක්වන ඉන්දියාවේ විදුලි බලාගාර ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් (EPC) අංශයට ලක්දනවි සමාගම පිවිසෙන පළමු ප්‍රධාන අවස්ථාවවන අතර, එමඟින් එම ශ්‍රී ලාංකික සමාගමට නව ව්‍යාපාරික අවස්ථා රැසක් විවර වේ.

LTL හෝල්ඩින්ග්ස් (LTL Holdings) හි අනුබද්ධිත සමාගමක් සහ LTL සමූහයේ කොටසක් වන ලක්දනවි සමාගම මෙම ව්‍යාපෘතිය දිනාගෙන ඇත්තේ, ඉන්දීය රජයට අයත් ජාතික තාප විදුලි සංස්ථාවේ (NTPC) අනුබද්ධිත ආයතනයක් වන NTPC විද්‍යුත් ව්‍යාපාර් නිගම් ලිමිටඩ් (NVVN) විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් ක්‍රියාවලියකින් අනතුරුව ය. එම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී අවම ලංසුව ඉදිරිපත් කළ සමාගම බවට ලක්දනවි පත් විය.

NVVN, ලක්දනවි සහ LTL හෝල්ඩින්ග්ස් යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2026 සැප්තැම්බර් 21 වැනිදා නොයිඩා හි පිහිටි NTPC කාර්යාල සංකීර්ණයේදී මෙම කොන්ත්‍රාත්තුවට නිල වශයෙන් අත්සන් තැබිණි. එහි දී යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන මෙන්ම දෙපාර්ශ්වය අතර ඉදිරි සහයෝගීතාව පුළුල් කරගැනීමේ හැකියාවන් පිළිබඳව ද සාකච්ඡා පැවැත්විණි.

මෙම ව්‍යාපෘතියේ ඉංජිනේරුමය කටයුතු සහ ක්‍රියාත්මක කිරීමේ වගකීම ලක්දනවි සමාගම විසින් දරනු ලබන අතර, ප්‍රධාන විදුලි ජනන උපකරණ ෆින්ලන්තය පදනම් කරගත් වාර්ට්සිලා සංස්ථාව (Wärtsilä Corporation) විසින් සපයනු ලැබේ. මෙම සහයෝගීතාව හරහා ශ්‍රී ලාංකික ව්‍යාපෘති ඉංජිනේරු හැකියාවන් සහ ජාත්‍යන්තර තාක්ෂණික විශේෂඥතාව එකට එක් වේ.

මෙම නව ව්‍යාපෘතිය බලශක්ති ක්ෂේත්‍රය තුළ ලක්දනවි සමාගම සතු ස්ථාවර පළපුරුද්ද මත ගොඩනැඟෙන්නකි. 1990 දශකයේ අගභාගයේදී LTL හෝල්ඩින්ග්ස් යටතේ ආරම්භ කරන ලද මෙම සමාගම, විදුලි බල උත්පාදනය, ස්වාධීන විදුලි බල නිෂ්පාදනය මෙන්ම සාම්ප්‍රදායික සහ පුනර්ජනනීය බලශක්ති බලාගාර මෙහෙයුම් හා නඩත්තු කටයුතු පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ගොඩනගාගෙන තිබේ.

එම සමාගමේ ජාත්‍යන්තර ව්‍යාපෘති ජාලයට දැනටමත් බංග්ලාදේශය, නේපාලය සහ මාලදිවයින යන රටවල ව්‍යාපෘති සහ මෙහෙයුම් ඇතුළත් වේ. ඉන්දියාවේ මෙම කොන්ත්‍රාත්තුව දිනා ගැනීමත් සමඟ කලාපීය වශයෙන් සමාගමේ ව්‍යාප්තිය තවදුරටත් ශක්තිමත් වනු ඇති අතර, අතිශය තරඟකාරී ජාත්‍යන්තර බලශක්ති යටිතල පහසුකම් ක්ෂේත්‍රය තුළ සමාගම සතු කීර්තිනාමය තවදුරටත් ඉහළ යනු ඇත.

විදුලි බල උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන අංශ පුරා විහිදුණු මෙහෙයුම් සහිත LTL සමූහය ශ්‍රී ලංකාවේ විදුලිබල කර්මාන්තය තුළ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටී. ලංකා විදුලිබල මණ්ඩලය සහ යුරෝපීය හවුල්කරුවෙකු අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස LTL හෝල්ඩින්ග්ස් ආරම්භ විය. එහි වත්මන් කොටස් හිමිකාරිත්වයට, ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයට අයත් ආයතනයක් වන ‘නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සිස්ටම් ප්‍රොවයිඩර් (පෞද්) සමාගම’ (National Transmission Network System Provider (Pvt) Ltd) සතු සියයට 35ක කොටස් හිමිකාරිත්වයක් ද ඇතුළත් වේ.

මෙම කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වයෙන් ද ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී තිබේ. LTL කළමනාකාරිත්වය සමඟ පැවති හමුවකදී බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සමාගමට සිය සුබපැතුම් එක්කළ අතර, ප්‍රධාන පෙළේ විදේශීය වෙළෙඳපොළක සුවිශේෂී යටිතල පහසුකම් ව්‍යාපෘතියක් දේශීය ව්‍යවසායයක් විසින් දිනා ගැනීම පිළිබඳව රජයේ ප්‍රසාදය පළ කළේය.

විශේෂඥතාව, විශ්වසනීයත්වය සහ ව්‍යාපෘති භාරදීමේ හැකියාව අත්‍යවශ්‍ය වන තාක්ෂණික වශයෙන් අභියෝගාත්මක කර්මාන්ත තුළ පවා ජාත්‍යන්තර ව තරඟ කිරීමට ශ්‍රී ලාංකික ව්‍යාපාර සතු හැකියාව පෙන්නුම් කරන දිරිගන්වනසුලු සංඥාවක් ලෙස මෙම වර්ධනය සැලකේ.

තව ද, මෙය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සබඳතාවන්ට නව මානයක් එක් කරයි. ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සාම්ප්‍රදායිකව ශ්‍රී ලංකාව තුළ සිදුවන ඉන්දීය ආයෝජන සහ සංවර්ධන මුලපිරීම් හරහා අවධානයට ලක්වුවද, පෝක් සමුද්‍ර සන්ධියෙන් එපිට වාණිජ අවස්ථා දිනා ගැනීමට ශ්‍රී ලාංකික ව්‍යවසායයන්ට ඇති හැකියාව ලක්දනවි සමාගමේ මෙම නවතම ජයග්‍රහණය මඟින් තහවුරු කරයි.

එවැනි ව්‍යාපාරික මුලපිරීම් මගින් සාම්ප්‍රදායික ආයෝජන සහ සංවර්ධන ආධාරවලින් ඔබ්බට ගොස් දෙරට අතර සබඳතා පුළුල් කිරීමටත්, පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයන්, තාක්ෂණික හුවමාරුව සහ දේශසීමා හරහා ව්‍යාපාර ව්‍යාප්ත කිරීම සඳහා වැඩි ඉඩකඩක් නිර්මාණය කිරීමටත් හැකි වනු ඇත.

මෙම කොන්ත්‍රාත්තුව සමාගම ලැබූ වැදගත් ජයග්‍රහණයක් මෙන්ම ශ්‍රී ලාංකික ඉංජිනේරු ක්ෂේත්‍රයටම ආඩම්බර විය හැකි අවස්ථාවක් බව ලක්දනවි ලිමිටඩ් සහ LTL හෝල්ඩින්ග්ස් ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු නුහුමාන් මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.

මෙම ප්‍රදානය මඟින් ආයතනයේ තාක්ෂණික ශක්තීන්, කාර්ය මණ්ඩලයේ කැපවීම සහ සංකීර්ණ විදුලි බල යටිතල පහසුකම් ව්‍යාපෘති භාරගෙන සාර්ථක ව නිම කිරීමට සමාගම සතු හැකියාව කෙරෙහි ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් තැබූ විශ්වාසය පිළිබිඹුවන බව ද හෙතෙම අවධාරණය කළේය.

ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමේ අරමුණින්, එය ක්‍රියාත්මක කිරීමේ සමස්ත ක්‍රියාවලිය පුරාම NVVN ආයතනය සමඟ සමීපව කටයුතු කිරීමට සමාගම කැපවී සිටින බව ද මරික්කාර් මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව, ලක්දනවි සමාගමේ මෙම නවතම ජයග්‍රහණය හුදෙක් තනි විදේශීය කොන්ත්‍රාත්තුවකට පමණක් සීමා නොවී, වේගයෙන් වර්ධනය වන ඉන්දීය බලශක්ති යටිතල පහසුකම් ක්ෂේත්‍රය තුළ තවදුරටත් ව්‍යාප්ත වීමට වේදිකාවක් සපයනු ඇති අතර ශ්‍රී ලාංකික ඉංජිනේරු සමාගම්වල ජාත්‍යන්තර පිළිගැනීම ශක්තිමත් කිරීමට ද හේතු වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කක්ෂගත ගමන නිමවා පෘථිවියට ආ Starship යානය ගුවනේදීම අල්ලාගනී – SpaceX වෙතින් ඓතිහාසික මෙහෙයුමක්!

සටහන – පුලීනොවැම්බර් 15, LNW (කොළඹ): අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ තවත්...

ලෝක බලවතුන්ගේ අවධානය ආසියාවට; චීනය, පිලිපීනය සහ කාම්බෝජයේ රාජ්‍ය තාන්ත්‍රික සමුළු රැසක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 15 : ආසියානු කලාපයේ...

ක්‍රිකට් නිලවරණය පවත්වන තුරු ශ්‍රී ලංකාවට සාමාජික රැස්වීම්වලට එන්න බෑ – ICCය යළි අවධාරණය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සම්බන්ධ නවතම තොරතුරු ඔවුන්...

අනුර රණසිංහ: ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ අමතක නොවන නාමයක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: අනුර රණසිංහ යනු ශ්‍රී...