කොළඹ LNW:2008 වර්ෂයේදී එරාවූර් පොලිස් බල ප්‍රදේශයේදී දේවදාස් සුරේෂ් කුමාර් නමැති පුද්ගලයෙකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් අට දෙනෙකුට මඩකලපුව මහාධිකරණය මඟින් ඊයේ (19) මරණ දඬුවම නියම කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩු පවරා තිබූ සැකකරුවන් නව දෙනා අතුරින් චෝදනාවලට වරදකරුවන් වූ අට දෙනාට මෙලෙස මරණ දඬුවම නියම කළ මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී.ජේ. ප්‍රභාකරන් මහතා, එක් සැකකරුවෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කළේය.
2008 වසරේ ජුනි 19 වැනිදා, එවකට චෙංකලඩි කඳවුරේ රැඳී සිටි ඊ.පී.ඩී.පී. (EPDP) සාමාජිකයන් පිරිසක් විසින් සුරේෂ් කුමාර් නමැත්තා වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කර, මළසිරුර වළදමා ඒ මත කෙසෙල් පැළයක් සිටුවා තිබූ බව අධිකරණයේදී අනාවරණය වී තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් එරාවූර් පොලීසිය මඟින් අදාළ ඊ.පී.ඩී.පී. සාමාජිකයන් නව දෙනා අත්අඩංගුවට ගෙන මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
මූලික මහෙස්ත්‍රාත් නඩු විභාගයෙන් අනතුරුව, 2016 වර්ෂයේදී මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා මඩකලපුව මහාධිකරණය වෙත යොමු කර ඇත.
පැහැරගැනීම සඳහා යොදාගත් බව කියන වෑන් රථය ද සොයා ගනිමින් මහාධිකරණය හමුවේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.


