සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය සම්බන්ධයෙන් සිය පාලනය දැඩි කරමින් සිටින පසුබිමක තෙල් ප්‍රවාහන නෞකා දෙකකට ප්‍රහාර එල්ල වී තිබේ.
බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) වාර්තා කර ඇත්තේ ඕමානයේ කසාබ් වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේදී මෙම සිදුවීම් වාර්තා වූ බවයි.
එක් නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරක අවියකින් පිටුපස කොටසට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, අනෙක් නෞකාවේ එන්ජින් කාමරය ද ප්‍රහාරයකට ලක්ව තිබේ. සිදුවීම් දෙකම එකම නෞකාවකට අදාළද නැතහොත් වෙන වෙනම නෞකා දෙකකට අදාළද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත.
මෙම සිදුවීම්වලින් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බව UKMTO සඳහන් කර ඇත. එහෙත් පරිසරයට සිදුව ඇති බලපෑම පිළිබඳව මෙතෙක් තහවුරු කර නොමැත.
මේ අතර, ඉරාන නාවික හමුදාව ප්‍රකාශ කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධියට නැගෙනහිරින් පිහිටි සීමා කළ මුහුදු ප්‍රදේශයකදී නාවික බිම් බෝම්බයක ගැටීමෙන් තෙල් ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගත් බවයි. අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් එම නෞකාව ගමන් කළ බවට ද ඉරානය චෝදනා කර තිබේ.
කෙසේ වෙතත්, ඉරානයේ එම ප්‍රකාශය ස්වාධීනව තහවුරු වී නොමැති අතර, එම නෞකාව බ්‍රිතාන්‍ය බලධාරීන් වාර්තා කළ ප්‍රහාරවලට ලක්වූ නෞකාවක්ද යන්න ද පැහැදිලි නැත.
ලෝකයේ බොරතෙල් සැපයුමෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන හෝමූස් සමුද්‍ර සන්ධිය ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳාම සඳහා ඉතා වැදගත් මුහුදු මාර්ගයකි.
ඉරානය විසින් එම මුහුදු මාර්ගයේ නාවික ගමනාගමනය සීමා කිරීමත් සමඟ ජාත්‍යන්තර තෙල් සැපයුමට සහ නාවික ආරක්ෂාවට බලපෑම් එල්ල වීමේ අවදානම ඉහළ ගොස් තිබේ.

